අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් පෙබරවාරි 10 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින දීර්ඝකාලීන හවුල්කාරිත්වය තවදුරටත් තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, මෙරට ප්‍රධාන සංවර්ධන සහ ආර්ථික හවුල්කරුවෙකු ලෙස යුරෝපා සංගමය ඉටුකරන කාර්යභාරය ඇගයීමට ලක් කළාය. විශේෂයෙන්ම මෑතකදී බලපෑ සුළි කුණාටු තත්ත්වයෙන් පසු යුරෝපා සංගමය ලබාදුන් කඩිනම් සහය පිළිබඳව ඇය සිය ස්තූතිය පළ කළ අතර, මෙරටට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඔවුන් දක්වන අඛණ්ඩ සහයෝගය මෙහිදී අගය කෙරිණි.දෙපාර්ශවය අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, වෙළඳ හා ආයෝජන කටයුතු ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය ව්‍යවස්ථාපිත සහ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණවල වැදගත්කම අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. ආර්ථික ස්ථාවරත්වය, යහපාලනය සහ තිරසාර වර්ධනයක් උදෙසා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන නව වැඩපිළිවෙළ පිළිබඳවද නියෝජිත පිරිස දැනුවත් කරන ලදී. මෙම අවස්ථාවට යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා සහ ශාන්තිකර කලාපීය වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාවෝලා පම්පලෝනි, යුරෝපා සංගම් තානාපතිනි කාමන් මොරේනෝ සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


























