ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සිය මෙහෙයුම් ආරම්භ කර වසර 25ක් සපිරීම නිමිත්තෙන් මෙරට රක්ෂණ කර්මාන්තය නව මානයකට ගෙන යාමේ සුවිශේෂී වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර ඇත. 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්ත නියාමන පනත යටතේ ස්ථාපිත මෙම ආයතනය, ගතවූ දශක දෙකහමාරක කාලය තුළ හුදෙක් අධීක්ෂණ ආයතනයක සිට නවීන දත්ත මත පදනම් වූ නියාමකයෙකු දක්වා පරිණාමය වී තිබීම විශේෂත්වයකි.මෙම සන්ධිස්ථානය සනිටුහන් කරමින් පැවැති මාධ්‍ය හමුවේදී IRCSL සභාපති ආචාර්ය අජිත් කොලොන්න මහතා අවධාරණය කළේ “සැමට රක්ෂණයක් – සුබ අනාගතයක්” යන තේමාව යටතේ ක්ෂේත්‍රය තුළ දැවැන්ත පරිවර්තනයක් සිදු කරන බවයි. විශේෂයෙන්ම රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුකූලව රක්ෂණ ක්ෂේත්‍රය වඩාත් විනිවිදභාවයකින් යුත් කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.ඒ අනුව, ණය තොරතුරු කාර්යාංශය (CRIB) හා සම්බන්ධ වෙමින් මෙරට සියලුම මෝටර් රථ වාහන සඳහා “ජාතික රක්ෂණ දත්ත පද්ධතියක්” නිර්මාණය කර ඇත. මෙම පද්ධතියේ නිල සමාරම්භය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර, එමඟින් රක්ෂණයක් නොමැතිව ධාවනය වන වාහන හඳුනා ගැනීමටත්, ක්ෂේත්‍රයේ මූල්‍ය විනයක් ඇති කිරීමටත් මඟ පෑදේ.මීට අමතරව, මෙරට රක්ෂණ ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් ලෙස “ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ්පත” හඳුන්වා දී ඇත. නවීන තාක්ෂණික උපාංග (Tabs) භාවිත කරමින් පොලිස් නිලධාරීන්ට ඕනෑම රක්ෂණ සහතිකයක වලංගුභාවය ක්ෂණිකව පරීක්ෂා කළ හැකි වේ. මේ හරහා වාරික මුදල් නොගෙවා ව්‍යාජ රක්ෂණ සහතික ඉදිරිපත් කරමින් මහජනතාව මුළා කරන පුද්ගලයන් පහසුවෙන් හඳුනාගත හැකිය.අනාගත පරපුර රක්ෂණය සහ අවදානම් කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින්, 6 ශ්‍රේණියේ සිට ඉහළ පන්තිවල පාසල් පෙළපොත්වලට රක්ෂණ විෂය කරුණු ඇතුළත් කිරීමටද සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය (NIE) සමඟ මේ වන විටත් සාකච්ඡා පවත්වමින් පවතින බව සභාපතිවරයා මෙහිදී අනාවරණය කළේය.මහජන සුබසාධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා, මාරක රිය අනතුරකදී මිය යන තෙවන පාර්ශවීය පුද්ගලයන් වෙනුවෙන් හිමිවන රුපියල් ලක්ෂ 10ක රක්ෂණ වන්දිය පිළිබඳව ජනතාව තුළ පවතින දැනුවත්භාවය ඉතා අඩු මට්ටමක පවතින බව පැවසීය. ඉදිරියේදී මෙම ප්‍රතිලාභ පිළිබඳව ජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීමට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.IRCSL හි අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ, කොමිසම දැනටමත් රීති පාදක රාමුවක සිට නවීන අවදානම් පාදක ප්‍රාග්ධන (RBC) ආකෘති දක්වා සාර්ථකව මාරු වී ඇති බවයි. 2030 වන විට රක්ෂණ විනිවිද යාම දෙගුණ කිරීමත්, 2035 වන විට එය තෙගුණ කිරීමත් ඉලක්ක කරගත් දීර්ඝකාලීන මාර්ග සිතියමක්ද මේ වන විට සකස් කර තිබේ.අනාගත සැලසුම් පිළිබඳව කරුණු දක්වමින්, 2026 වසරේදී ජාත්‍යන්තර රක්ෂණ සහ විශ්‍රාම ඉතුරුම් පිළිබඳ OECD/ADBI වටමේස සාකච්ඡාවට ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බවද අනාවරණය විය. තවද, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිවැරදි මිලකරණය සඳහා නව “සම්මත මරණ වගුවක්” සංවර්ධනය කිරීම සහ තරුණයින් සඳහා රචනා තරඟ පැවැත්වීම වැනි නව මුලපිරීම් රැසක් ඉදිරියට සැලසුම් කර ඇත.දැනට මෙරට රක්ෂණ ක්ෂේත්‍රය රක්ෂණ සමාගම් 29ක්, තැරැව්කාර සමාගම් 82ක් සහ පාඩු ගැලපුම්කරුවන් 29කින් සමන්විතව ශක්තිමත්ව පවතී. රක්ෂණය යනු තමන්ගේ අවදානම තවත් පාර්ශවයකට පවරා තමන් සුරක්ෂිත වීම බව ජනතාවට අවබෝධ කර දෙමින්, මූල්‍යමය වශයෙන් ඔරොත්තු දෙන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට IRCSL කැපවී සිටී.


























