ශ්‍රී ලංකාවේ හඳුන්වා දෙන නව ස්ථිර ඩිජිටල් රක්ෂණ කාඩ්පත් (e-card) ක්‍රමය යටතේ, බස්නාහිර පළාතේ රථවාහන පොලිස් නිලධාරීන් සඳහා ටැබ්ලට් උපකරණ (Tablets) 500 ක් බෙදා දීමෙන් එහි මූලික අදියර ආරම්භ විය. ශ්‍රී ලංකා පොලිසියට අනුව, මෙමගින් නවීකරණය කරන ලද “ශ්‍රී ලංකා පොලිස් මාර්ග අනතුරු දත්ත කළමනාකරණ පද්ධතියට” කඩිනමින් ප්‍රවේශ වීමටත්, නව ඩිජිටල් රක්ෂණ කාඩ්පත්වල සත්‍යතාව තහවුරු කිරීමටත් පොලිස් නිලධාරීන්ට අවස්ථාව හිමිවේ. මෙහි සංකේතාත්මක පියවරක් ලෙස තෝරාගත් පොලිස් නිලධාරීන් පිරිසක් වෙත ටැබ්ලට් උපකරණ 150 ක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.දැනට රක්ෂණ සමාගම් විසින් වාහන හිමියන් වෙත වාර්ෂිකව නිකුත් කරනු ලබන ප්ලාස්ටික් රක්ෂණ කාඩ්පත් ක්‍රමය මෙයින් පසු අදියරෙන් අදියර ඉවත් කෙරෙන අතර, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) මගපෙන්වීම යටතේ මෙම නව ඩිජිටල් පද්ධතිය නිර්මාණය කර ඇත. මාර්ගවල රක්ෂණ සහතික පරීක්ෂා කිරීමේ නිරත පොලිස් නිලධාරීන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ රක්ෂණ නියාමන කොමිෂන් සභාව එක්ව විශේෂ වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි.මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය ඊයේ (ජනවාරි 07) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා පෙන්වා දුන්නේ ප්ලාස්ටික් කාඩ්පත් භාවිතයෙන් සිදුවන පරිසර දූෂණය වැළැක්වීම, කාඩ්පත් නිෂ්පාදනය සඳහා වැයවන විශාල පිරිවැය අවම කිරීම සහ රක්ෂණ ක්ෂේත්‍රයේ පවතින මෙහෙයුම් ගැටලු රැසකට මෙම ඩිජිටල් ක්‍රමය හරහා විසඳුම් ලැබෙනු ඇති බවයි.


























