රක්ෂණ කර්මාන්ත නියාමන පනත උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව, ටයිසර්ස් (Tysers) රක්ෂණ තැරැව්කාර සමාගම ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් එම නඩුව විභාගයට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ තීන්දු කළේය. ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) මගින් පිරිනමනු ලබන රුපියල් බිලියනයකට ආසන්න ප්‍රතිරක්ෂණ ටෙන්ඩරයක් ලබාගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත. රක්ෂණ කර්මාන්ත නියාමන පනත යටතේ මෙරට ලියාපදිංචි නොවූ ආයතනයකට මෙවැනි ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමට හෝ මෙරට නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමට නීත්‍යානුකූල අවසරයක් නොමැති බව පවසමින් ස්ට්‍රැටීජික් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (Strategic Insurance Brokers) පුද්ගලික සමාගම විසින් මෙම නඩුව පවරා තිබුණි.තමන්ට එරෙහිව අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි බවට ටයිසර්ස් සමාගම තර්ක කළද, කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ පනතේ 92 වැනි වගන්තියට අනුව නිසි ලියාපදිංචියකින් තොරව ව්‍යාපාර කටයුතු සිදුකිරීම තහනම් බවයි. ඒ අනුව, මෙම නඩුව 2026 මාර්තු 25 වන දින විභාගයට ගැනීමට නියමිත අතර, එහිදී වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිරදඬුවමක් නියම වීමට ඉඩ ඇත. මෙම නඩු වාරය සඳහා පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් සහ ශැනන් තිලකරත්න පෙනී සිටි අතර, විත්තිකාර ටයිසර්ස් සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.


























