රජයට එරෙහි කුමන්ත්‍රණ චෝදනා සහ විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව චම්පිකගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

පවත්නා විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) හමුවට කැඳවා තිබුණි. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රණවක මහතා ප්‍රකාශ කළේ, අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් බී (B) වාර්තාවකින් රජයට එරෙහි කුමන්ත්‍රණයක් ගැන කියවෙන බවයි. විෂය භාර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ වාර්තාවක් මත පදනම්ව බහාලුම් 323ක ගැටලුව මතු කළ බවත්, විදුලි බිඳවැටීමකට රිළවෙකු වගකිව යුතු බව පැවසූ අවස්ථාවේදී එය වික්ටෝරියා වේල්ලේ ඇති වූ දෝෂයක් බව විද්‍යාත්මකව ඔප්පු කළ බවත් ඔහු සිහිපත් කළේය. එමෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යයේ රජයේ සූදානමක් නොමැති බව තමන් පෙන්වා දුන්නේ ද සාක්ෂි සහිතව බව ඔහු අවධාරණය කළේය.​ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු මතු කළේ ද ප්‍රමාණවත් සාක්ෂි ඇතිව බවත්, බලධාරීන් කළ යුත්තේ විමර්ශන හෝ චරිත ඝාතන සිදු කිරීම නොව කරුණු සහිතව ඊට පිළිතුරු දීම බවත් රණවක මහතා මෙහිදී පැවසීය. මේ සම්බන්ධයෙන් හෙට (18) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය. තවද, රජය විසින් විදුලි ගාස්තු වැඩිකිරීමට පියවර ගතහොත් ඊට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාර දියත් කරන බවට ද ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

What's your reaction?

Related Posts

1 of 1,053

Leave A Reply

Your email address will not be published. Required fields are marked *