රජයේ අත්තනෝමතික බදු සහ කළමනාකරණ දුර්වලතා හමුවේ ජන ජීවිතය අඩාලයි – සර්වජන බලය

රට තුළ පවතින උග්‍ර ජල සහ විදුලි අර්බුදය හමුවේ සාමාන්‍ය ජනතාවගේ මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ‘සර්වජන බලය’ සංවිධානය අවධාරණය කරයි. අද වන විට වැසිකිළියට යාමට පවා ජලය තිබේදැයි කෙටි පණිවුඩ (SMS) මගින් පරීක්ෂා කිරීමට සිදුවන තරමට පාලනය අඩාල වී ඇති බවත්, සතියකට වරක් රෙදි සෝදන ලෙස අමාත්‍යවරුන් කරන ප්‍රකාශ ජනතාවට කරන අපහාසයක් බවත් නීතිඥ ලක්ෂ්මන් මුල්ලේගම මහතා මෙහිදී පෙන්වා දුන්නේය. විදුලි හා ජල අර්බුදය හමුවේ මිනිසුන්ගේ පානීය ජල අවශ්‍යතාව මෙන්ම වගා කටයුතු ද සම්පූර්ණයෙන් අඩාල වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.​රජයට හිතවත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ හැසිරීම සහ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී දැඩි විවේචන එල්ල විය. ඇතැම් යූටියුබ්කරුවන් අසභ්‍ය වචන භාවිත කරමින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් රජය නිසි පියවර නොගැනීම ගැටලුසහගත බවත්, මෙවැනි පුද්ගලයන් හරහා සමාජය යහමගට ගත නොහැකි බවත් මාධ්‍ය හමුවට එක්වූ නියෝජිතයෝ පැවසූහ. එමෙන්ම වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය රජයේ උද්දච්චකම නිසා ඇති වූවක් බවත්, උපයන විට බද්ද ඇතුළු ජනතාව මත පටවා ඇති අධික බදු බර වහාම ලිහිල් කිරීමට රජය කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.​පවතින ආර්ථික පීඩනයෙන් ජනතාව මුදාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා කර පනවා ඇති බදු යම් මට්ටමකින් අඩු කරගැනීමට රජය මැදිහත් විය යුතු බව සර්වජන බලයේ ස්ථාවරයයි. පාලකයන් වසර 76ක ශාපයක් ගැන පවසමින් බලයට පත්වුවද, වර්තමානයේ පැන නැගී ඇති කිසිදු ගැටලුවකට සාර්ථක විසඳුම් ලබාදීමට ඔවුන් අපොහොසත් වී ඇති බව නායකයන් පෙන්වා දුන්හ. එමෙන්ම පොදු අරමුණක් වෙනුවෙන් විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව ද මෙහිදී ප්‍රකාශ විය.

What's your reaction?

Related Posts

1 of 1,078

Leave A Reply

Your email address will not be published. Required fields are marked *