විවිධ රාජ්‍ය ආයතන වෙත ලැබුණු ව්‍යාජ බෝම්බ තර්ජන ඇතුළත් විද්‍යුත් ලිපි (Emails) සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තහවුරු කළේය. කෙසේ වෙතත්, එම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ මෙතෙක් අලුත්ම තොරතුරු වාර්තා වී නොමැති බව ඔහු ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. පසුගිය දෙසැම්බර් 26 වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පූජාපිටිය, නාවලපිටිය සහ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මෙන්ම කටාර් එයාර්වේස් ගුවන් යානයකට ද මෙලෙස බෝම්බ තර්ජන එල්ල වී තිබුණි.මහජන නොසන්සුන්තාවක් ඇති කිරීමේ උත්සාහයක් විය හැකි බවට පවතින සැකය මත, පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම විද්‍යුත් ලිපි විදේශ රටක සිට එවා ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන ඇති තොරතුරු පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, කැබිනට් ප්‍රකාශකවරයා ලෙස පොලිසිය ඒ පිළිබඳව තමාට මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බැවින් ඒ ගැන අදහස් දැක්විය නොහැකි බවයි.


























