වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය මගින් 2026 පෙබරවාරි මස මුලදී පවත්වන ලද ‘Mood of the Nation’ නවතම මහජන මත විමසුමට අනුව, වත්මන් රජය කෙරෙහි පවතින මහජන ප්‍රසාදය 65% ක් දක්වා ඉහළ ගොස් ඇත. වැන්ගාඩ් සර්වේ (Vanguard Survey) ආයතනයේ සහයෝගයෙන් පවත්වන ලද මෙම සමීක්ෂණයට අනුව, පසුගිය වසරේ පැවති 62% ක ප්‍රසාදය හා සැසඳීමේදී මෙය සංඛ්‍යානමය වශයෙන් ස්ථාවර මට්ටමක පවතින බව පෙනී යයි. එමෙන්ම, රජය කෙරෙහි පවතින අප්‍රසාදය ද 2025 වසරේ මෙන්ම වෙනස් නොවී අවම මට්ටමක පවතී. මෙම වසර හතරක සමීක්ෂණ ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, රටේ ආර්ථික තත්ත්වය “යහපත්” හෝ “විශිෂ්ට” බව පවසන පිරිස, එය “දුර්වල” බව පවසන පිරිස අභිබවා ගොස් තිබීම විශේෂත්වයකි. රටේ ආර්ථිකය “යහපත් අතට හැරෙන බව” පවසන පිරිස පසුගිය වසරේ පැවති 55% සිට 64% දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ආර්ථික විශ්වාසය මැනෙන දර්ශකය (Economic Confidence Index) +14 සිට +36 දක්වා විශාල වර්ධනයක් පෙන්නුම් කරයි.මීට අමතරව, රට පවතින ආකාරය පිළිබඳව ජනතාවගෙන් 59% ක් සෑහීමකට පත්වන අතර, සමීක්ෂණ ඉතිහාසය තුළ එම අගය 50% ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව ද මෙය වේ. පසුගිය රජයන් හා සැසඳීමේදී වත්මන් රජය ඇගයීමට ලක්වූ ප්‍රධානතම ක්ෂේත්රය ලෙස මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්දනය හඳුනාගෙන ඇති අතර, එය දූෂණය පිටුදැකීමට වඩා ඉහළ මට්ටමක පවතී. 2026 ජනවාරි 24 සිට පෙබරවාරි 03 දක්වා දිවයින පුරා විසිරී සිටින වැඩිහිටියන් 1,048 දෙනෙකු ඇසුරින්, 95% ක විශ්වාසනීය මට්ටමක් සහ ±3% ක දෝෂාංශයකට යටත්ව මෙම සමීක්ෂණය පවත්වා ඇත.


























