මැතිවරණ සමයේ තුනෙන් එකකින් විදුලි බිල අඩු කරන බවට ලබාදුන් පොරොන්දු හමුවේ ජනතාව රජයට තුනෙන් දෙකක අතිමහත් බලයක් ලබා දුන්නද, අද සිදුව ඇත්තේ එහි අනෙක් පැත්ත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා චෝදනා කරයි. උත්සව සමය අභියස ජනතාවට සහනයක් දෙනවා වෙනුවට, විදුලි බිල තුනෙන් දෙකකින් වැඩිකර ජනතාව පීඩාවට පත් කිරීම දැඩි කනගාටුවට කරුණකි. ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සහ දූෂණය හේතුවෙන් අද වන විට අධික පිරිවැයක් දරමින් ඩීසල් මගින් විදුලිය නිපදවීමට සිදුව තිබීම මෙම බරපතල අර්බුදයට මූලික හේතුව වී ඇති බව ඔහු පෙන්වා දෙයි.මෙම අර්බුදයට වගකිව යුත්තේ රජයේ අත්තනෝමතික තීරණ මිස අහිංසක ජනතාව නොවන බැවින්, එම බර ජනතාව මත පැටවීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් එකඟතාවලට මුවා නොවී, පොරොන්දු වූ පරිදි සහනයක් ලබාදීමට රජය මෙම පිරිවැය යම් ප්‍රමාණයකට හෝ සහනාධාරයක් ලෙස දැරිය යුතුය. රජයේ කළමනාකරණ දුර්වලතා වසා ගැනීමට සාමාන්‍ය වැසියා බිල්ලට දීම වහාම නැවැත්විය යුතු අතර, ලබාදුන් ජනවරමට ගරු කරමින් ප්‍රකාශ කළ පරිදිම විදුලි බිල අඩු කිරීමට පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.























