රට මේ වන විට ක්ෂේත්‍ර ගණනාවකින් දරුණු අර්බුදයකට මුහුණ දී සිටියද, රජය සතුව ඒ සඳහා කිසිදු විධිමත් සැලසුමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කැලණිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ලෝක දේශපාලනයේ සහ මැදපෙරදිග කලාපයේ සිදුවන වෙනස්කම් පිළිබඳව නිසි පුරෝකථනයක් කිරීමට රජය අසමත් වී ඇති බවයි. විශේෂයෙන්ම තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් ජාල බිඳවැටීම වැනි ජාත්‍යන්තර අභියෝග හමුවේ ශ්‍රී ලංකාව අසරණ වී ඇත්තේ පාලකයන්ගේ නොහැකියාව නිසා බව ඔහු අවධාරණය කළේය.නොරොච්චෝල බලාගාරය සඳහා බාල ගල්අඟුරු ගෙන්වීම හරහා බලශක්ති ක්ෂේත්‍රය තුළ විශාල මාෆියාවක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායකවරයා මෙහිදී හෙළි කළේය. මෙම බාල ගල්අඟුරු භාවිතය නිසා විදුලි උත්පාදනය පහත වැටී ඇති අතර, එම අඩුව පියවා ගැනීමට අධික පිරිවැයක් දරා ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස විදුලි බිල තවදුරටත් ඉහළ දමමින් රජය සිදුකළ වංචාවල බර සාමාන්‍ය ජනතාවගේ කරපිට පැටවීමට සූදානම් වන බවට ඔහු චෝදනා කළේය.කෘෂිකාර්මික ක්ෂේත්‍රය දරුණු කඩාවැටීමකට ලක්ව ඇති බව පෙන්වා දුන් ප්‍රේමදාස මහතා, ගොවීන්ට අවශ්‍ය ඉන්ධන සහ පොහොර ලබා දීමට රජය අපොහොසත් වී ඇති බව ප්‍රකාශ කළේය. ලෝක වෙළඳපොළේ පොහොර මිල ඉහළ යද්දී අනෙකුත් රටවල් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී සහන ලබා ගත්තද, ශ්‍රී ලංකා රජය එවැනි කිසිදු පියවරක් ගෙන නොමැත. මේ හේතුවෙන් ඉදිරි කන්නවල අස්වැන්න අඩු වී රට තුළ බරපතල ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඔහු අනාවරණය කළේය.අසල්වැසි ඉන්දියාව සහ දකුණු කොරියාව වැනි රටවල් ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරමින් ජනතාවට සහන සලසද්දී, මෙරට රජය මැතිවරණ සමයේ දුන් පොරොන්දු අමතක කර ජනතාව මත බදු බර පටවමින් සිටින බව ඔහු පැවසීය. වරායට ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බව කීවත්, අද වන විට ඉන්ධන මත පනවා ඇති අධික බදු නිසා ජීවන වියදම දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇත. රජයේ මෙම උද්දච්ච පිළිවෙත නිසා සමස්ත ආර්ථිකයම අඩාල වී ඇති බව විපක්ෂ නායකවරයාගේ මතයයි.රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ඇඟලුම් කර්මාන්තය පවා වසා දැමීමේ තර්ජනයට ලක්ව ඇති බවත්, බොහෝ කර්මාන්තශාලා මෙරට අතහැර වෙනත් රටවලට සංක්‍රමණය වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. 2019 වසරේ මෙන්ම 2024 වසරේදී ද ජනතාව බොරු වීරයන්ට රැවටී ඇති බවත්, එහි විපාක ලෙස අද රටේ තාරුණ්‍යයට සහ ව්‍යවසායකයන්ට අඳුරු අනාගතයකට මුහුණ දීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.අතීතයේ තමා ඉදිරිපත් කළ “ආර්ථව දරිද්‍රතාව” වැනි මානුෂීය යෝජනාවලට සමච්චල් කළ පිරිස් අද ඒවායේ වටිනාකම වටහා ගනිමින් සිටින බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, විපක්ෂය ඉදිරිපත් කරන සාධනීය යෝජනා මඩ ප්‍රහාර හරහා යටපත් කිරීමට රජය උත්සාහ කරන බව පැවසීය. රජය කොතෙක් බාධා කළද ජනතාව වෙනුවෙන් පෙනී සිටීමටත්, රට මුහුණ දී ඇති මෙම ප්‍රපාතයෙන් ගොඩගැනීමටත් තමා ඇතුළු විපක්ෂය ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බව ඔහු අවසාන වශයෙන් අවධාරණය කළේය.
























