වත්මන් රජය රටේ පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට අපොහොසත් වී ඇති බවත්, හදිසි නීති රෙගුලාසි නමින් පැරණි ගැසට් පත්‍ර යළි ඉදිරිපත් කරමින් ජනතාව විහිළුවට ලක් කරමින් සිටින බවත් බහුජන බලය සංවිධානය චෝදනා කරයි. අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංවිධානයේ ලේකම්, නීතිඥ පියල් දර්ශන ගුරුගේ මහතා ප්‍රකාශ කළේ, ආණ්ඩුව විසින් මෑතකදී නිකුත් කළ හදිසි නීති ගැසට් පත්‍රය වත්මන් ගංවතුර තත්ත්වයට කිසිසේත්ම අදාළ නොවන බවයි.මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ සකස් කළ, ගණිකා නිවාස සහ සමලිංගිකත්වය වැනි කරුණු ඇතුළත් පැරණි ලේඛනයක් වත්මන් රජය විසින් පිටපත් කර ඇති බවත්, මහනුවර අධිකරණ සංකීර්ණය වැනි ආපදාවට ලක්වූ ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය රෙගුලාසි එහි ඇතුළත් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. රජය ඉතා අත්දැකීම් අඩු පිරිසකගෙන් සමන්විත බවත්, රන්ජන් ජයලාල් සහ අශෝක රන්වල වැනි පුද්ගලයන්ට ජනාධිපතිවරයා බිය වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.මෙහිදී අදහස් දැක්වූ බහුජන බලය සංවිධායක චරිත් අබේසිංහ මහතා සඳහන් කළේ, ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට භූමි ප්‍රමාණයෙන් 20%ක් පමණ හානියට පත්ව ඇති බවයි. හානි වූ දේපළ යථා තත්ත්වයට පත් කිරීමට ඩොලර් බිලියන 6ක් හෝ 7ක් පමණ වැය වනු ඇතැයි ගණන් බලා තිබුණද, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතු දැයි බරපතළ සැකයක් පවතින බව ඔහු කියා සිටියේය.ලෝක බැංකුව වැනි ආයතනවලින් සහනාධාර ඉල්ලා තිබුණද ඒවා මෙතෙක් නිසි ලෙස ලැබී නොමැති බවත්, අලුත් අයවැයක් ඉදිරිපත් නොකර මේ දැවැන්ත විනාශය ගොඩනැගීමට රජයට නොහැකි වනු ඇති බවත් අබේසිංහ මහතා අවධාරණය කළේය.


























