පොරොන්දු කඩ කරමින් බලයට පත් වත්මන් රජය, රාජ්‍ය සේවකයා ඇතුළු සමස්ත ජනතාවම අන්ත අසරණ තත්ත්වයට පත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. සමගි සේවක සංගමයේ 6 වන සංවත්සරයට එක්වෙමින් ඔහු කියා සිටියේ, දේශපාලන පළිගැනීම්වලට ලක්වූ සැමට තමන්ගේ රජයක් යටතේ සාධාරණය ඉටු කරන අතරම, ආයතනවල තීරණාත්මක අධ්යක්ෂ මණ්ඩල සඳහා කම්කරු නියෝජිතයන් පත් කිරීමට පියවර ගන්නා බවයි.රාජ්‍ය සම්පත් සුරැකීමේ සැබෑ වගකීම ඉටු කරන්නේ සමගි ජන බලවේගය පමණක් බව පැවසූ විපක්ෂ නායකවරයා, ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව තමන් නිරන්තරයෙන් පෙනී සිටි බව සිහිපත් කළේය. එයාර් ලංකා, ටෙලිකොම් සහ රක්ෂණ සංස්ථාව වැනි ආයතනවල සේවකයන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අද වන විට පිහිට පතා එන්නේ වෙනත් කිසිදු දේශපාලන ප්‍රවාහයක් වෙත නොව, සමගි ජන බලවේගය වෙත බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.විදුලිබල මණ්ඩලයේ දහස් සංඛ්‍යාත සේවක පිරිසක් පාරට ඇද දමා තනතුරු ලබාගත් පිරිස් අද එම සේවකයන් අතහැර දමා ඇති බවට ඔහු චෝදනා කළේය. ධීවර සංස්ථාව ඈවර කිරීමට ගත් උත්සාහයන් පාර්ලිමේන්තුව තුළ ව්‍යර්ථ කළේ ද තමන් බව පැවසූ ප්‍රේමදාස මහතා, බලය ලැබෙන තෙක් පමණක් ජනතාව වෙනුවෙන් පෙනී සිටින සෙසු පක්ෂවල දෙබිඩි පිළිවෙත දැඩි විවේචනයට ලක් කළේය.රාජ්‍ය සේවයේ ලක්ෂ 14ක් වන ශ්‍රම බලකාය අමතක කර රජය කටයුතු කරන බව පවසන විපක්ෂ නායකවරයා, අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී සේවක අයිතිවාසිකම්වලට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව අවධාරණය කරයි. වත්මන් රජය රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා වෙනුවට සේවකයා නොසලකා හරිමින් කටයුතු කිරීම රටේ අනාගතයට දැඩි තර්ජනයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.ලෝක දේශපාලනය සහ ජාත්‍යන්තර බලශක්ති අර්බුද පිළිබඳ රජයට කිසිදු අවබෝධයක් නොමැති බව පැවසූ ඔහු, ඉරාන-ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් ඇති විය හැකි බලශක්ති අනාරක්ෂිතභාවය පිළිබඳ විපක්ෂය කළ අනතුරු ඇඟවීම් රජය සිනහවට ලක් කළ බව පැවසීය. විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් පාලකයන් සතු නොදැනුවත්කම හේතුවෙන් රට අද වන විට බරපතල තෙල් අර්බුදයකට මුහුණ දී සිටින බව ඔහු සඳහන් කළේය.රජයේ පළිගැනීමේ දේශපාලනය නිසා ආර්ථිකය දැඩි ලෙස සංකෝචනය වී ඇති අතර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර පවා කඩා වැටී ඇති බව විපක්ෂ නායකවරයා පවසයි. වරායෙන් ගොඩබාන මිලට තෙල් දෙන බවට පොරොන්දු වී බලයට පැමිණි පාලකයන්, අද වන විට ඉන්ධන මත බදු හතරක් පනවමින් ජනතාව මත අධික බරක් පටවා ඇති බවත්, එම බදු වහාම ඉවත් කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.නොරොච්චෝල බලාගාරයේ බාල ගල් අගුරු වංචාව මැදපෙරදිග යුද්ධය පෙන්වා වසා ගැනීමට රජය උත්සාහ කරන බවට ද මෙහිදී චෝදනා එල්ල විය. බාල ගල් අගුරු භාවිතය නිසා යන්ත්‍ර විනාශ වී ඇති අතර, එම පාඩුව පියවා ගැනීමට ජනතාව මත විදුලි බිල වැඩි කිරීමට රජය සැරසෙන බවත්, පාරිභෝගිකයාට ලැබිය යුතු ඉන්ධන පවා බලාගාර සඳහා වැය කිරීමට සිදුව ඇති බවත් ඔහු අනාවරණය කළේය.සමගි ජන බලවේගය යනු අන්තවාදී දක්ෂිණාංශික හෝ වාමාංශික කඳවුරක් නොව, යුක්තිය සහ සාධාරණත්වය මුල් කරගත් “මැද මාවතේ” ගමන් කරන පක්ෂයක් බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මානුෂීය ධනවාදය සහ සමාජ ප්රජාතන්ත්රවාදය හරහා ජනතාව නොරවටන, සැබෑ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන එකම විකල්පය තමන් බව පවසමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ රජයේ රැවටිලිවලට හසු නොවී අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි.
























