කෙටි කාලීන විසඳුම් පොරොන්දු වෙමින් බලයට පත් වූ වත්මන් රජය, මේ වන විට රටේ පවතින කිසිදු දැවෙන ප්‍රශ්නයකට සාර්ථක පිළියම් ලබා දීමට සමත්ව නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. කොළඹදී අද (13) පැවැති සමගි ජන බලවේග මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, රට අර්බුදයකට පෙරහුරු වෙද්දී ඒ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා පූර්ව අනතුරු ඇඟවීම් සිදු කළ ද රජය ඒවා නොසලකා හැර ඇති බවයි. බොරදියේ මාළු බෑම වෙනුවට රටට සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට තම කණ්ඩායම නිරන්තරයෙන් කැපවන බව ද හෙතෙම සඳහන් කළේය.අතීත අත්දැකීම් සිහිපත් කරමින් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය මෙරටට ඇතුළු වීමටත් පෙර ඒ සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන් බවයි. එමෙන්ම විපක්ෂයේ සිටියදී පවා රෝහල් පද්ධතියට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කරමින් සජීවීව මැදිහත් වූ ආකාරය ඔහු සිහිපත් කළේය. මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා කලින්ම අනතුරු ඇඟවූවත්, රජයේ පූර්ව සූදානමක් නොමැති වීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට මෙතෙක් සහන සැලසීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කළේය.ජාත්‍යන්තර දේශපාලනය හමුවේ රජය අනුගමනය කරන පිළිවෙත විවේචනය කළ හෙට්ටිආරච්චි මහතා, ලෝක බලවතුන් අතර ඇති වන ගැටුම් හමුවේ ශ්‍රී ලංකාව මැද මාවතේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව අවධාරණය කළේය. විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාව සමඟ ඉතා සමීප සහ සුහද සබඳතාවක් පවත්වා ගැනීම රටේ ආරක්ෂාවට හා ආර්ථිකයට අතිශය වැදගත් බව සමගි ජන බලවේගයේ ස්ථාවරයයි. ප්‍රශ්න කළමනාකරණය කිරීමේදී සජිත් ප්‍රේමදාස මහතා සතු දුරදක්නා නුවණ මෙරට පාලකයන්ට ආදර්ශයක් විය යුතු බව ද ඔහු පැවසීය.විපක්ෂ නායකවරයාගේ විදේශ ප්‍රතිපත්තිය සහ ලෝක දේශපාලනය පිළිබඳ ඇති අවබෝධය නිසාම, වත්මන් ගෝලීය යුද වාතාවරණයන් සම්බන්ධයෙන් අදහස් විමසීමට ජාත්‍යන්තර මාධ්‍ය පවා ඔහු වටා රොක් වන බව මෙහිදී හෙළි විය. තෙවැනි ලෝක යුද්ධයක් කරා ලෝකය තල්ලු වීම වැළැක්වීමට අවශ්‍ය දායකත්වය ලබා දීම සහ සාමය වෙනුවෙන් පෙනී සිටීම වගකිවයුතු නායකයෙකුගේ ලක්ෂණය බව පෙන්වා දුන් ඔහු, සජිත් ප්‍රේමදාස මහතා එදත් අදත් එම වගකීම ඉටු කරන බව ප්‍රකාශ කළේය.අවසාන වශයෙන් ඔහු කියා සිටියේ ලෝකයේ සෙසු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදකලා නොවන තැනට වගබලා ගැනීම වත්මන් පාලකයන්ගේ වගකීමක් බවයි. දේශීය මෙන්ම විදේශීය අභියෝග ජය ගැනීමට නම් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන දුරදක්නා වැඩපිළිවෙළට රජය සවන් දිය යුතු බවත්, රටේ ඉදිරි ගමන තීරණය වන්නේ එවැනි ගෝලීය අවබෝධයක් සහිත නායකත්වයක් මත බවත් විජයපාල හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


























