ශ්‍රී ලංකාව තුළ වත්මන් පාලන සමයේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බවත්, සිවිල් වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට රජය අසමත් වී ඇති බවත් පවසමින් “මහජන හඬ” දේශපාලන එකමුතුව සිය දැඩි විරෝධය පළ කර සිටියි. 2025 වසරේ මුල් භාගයේ සිටම උත්සන්න වී ඇති මිනිස් ඝාතන රැල්ල පාලනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් රජය සෘජුවම වගකිව යුතු බව ඔවුන් පෙන්වා දෙයි.මෑතකදී සිදුවූ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳගේ ඝාතනයත් සමඟ රට තුළ විශාල භීෂණයක් හටගෙන ඇති බව එම සංවිධානය පවසයි. මෙම සිදුවීමෙන් දින කිහිපයක් ඇතුළත තවත් ඝාතන තුනක් වාර්තා වීම හරහා පැහැදිලි වන්නේ මේවා හුදකලා සිදුවීම් නොව සංවිධානාත්මක අපරාධ දාමයක පුරුක් බවයි. මෙම තත්ත්වය හමුවේ මහජනතාව තුළ දැඩි අනාරක්ෂිත හැඟීමක් නිර්මාණය වී ඇත.ජනතාවගේ මූලික ආරක්ෂාව සැපයීමට වත්මන් “මාලිමා” රජය සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බවට “මහජන හඬ” චෝදනා කරයි. විශේෂයෙන්ම මෙම ඝාතන සම්බන්ධ විමර්ශන පාරදෘශ්‍ය නොවීම සහ අපරාධකරුවන් නිදැල්ලේ පසුවීම රජයේ දුර්වලතාවය මනාව පිළිඹිබු කරන බව එම නිවේදනයේ සඳහන් වේ.පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ, මහජන ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම පිළිබඳ වගකීම භාරගෙන මහජන ආරක්ෂක අමාත්‍යවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඔවුන් අවධාරණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට වගවීම ප්‍රදර්ශනය කිරීමට නම් මෙවැනි අසමත්වීම් හමුවේ තනතුරු අත්හැරිය යුතු බව ඔවුන්ගේ ස්ථාවරයයි.එමෙන්ම, වත්මන් පොලිස්පතිවරයා ද තවදුරටත් ධුරයේ රැඳී සිටීම නුසුදුසු බව මහජන හඬ පවසයි. පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලන උවමනාවන් මත ක්‍රියා කරන බවටත්, රජයේ පාර්ශ්වයන්ට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවටත් සමාජය තුළ ප්‍රබල මතයක් ගොඩනැගී ඇති බැවින්, ස්වාධීනව කටයුතු කළ නොහැකි නම් ඔහු ද වහාම ඉල්ලා අස්විය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.රටේ ආරක්ෂක යාන්ත්‍රණය යළි සක්‍රීය කිරීම සඳහා ක්ෂණික පියවර 04ක් ගත යුතු බවට “මහජන හඬ” රජයට බලකර සිටියි. නීතිඥ ඝාතනය ඇතුළු සියලු අපරාධ සම්බන්ධයෙන් නිශ්චිත කාලසීමාවක් තුළ විමර්ශන අවසන් කිරීම සහ එම ප්‍රගතිය මහජනතාවට විවෘතව දැනුම් දීම ඉන් ප්‍රධාන වේ.මීට අමතරව, බුද්ධි අංශ සහ පොලිසිය අතර සම්බන්ධීකරණය ශක්තිමත් කර සමාජ ආරක්ෂණ යාන්ත්‍රණ බලගැන්වීමට රජය වහාම පියවර ගත යුතුය. රටේ පවතින මෙම බරපතල ආරක්ෂක අර්බුදය විසඳීම සඳහා පවතින නිශ්චිත වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳව රජය විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කළ යුතු බව ද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.ජීවිත ආරක්ෂාව යනු රජයකින් ලැබෙන වරප්‍රසාදයක් නොව එය සෑම පුරවැසියෙකුගේම මූලික අයිතියක් බව පවසන මහජන හඬ එකමුතුව, රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන තෙක් සිය හඬ අවදි කරන බව නිවේදනය කරයි. මෙම නිවේදනය සඳහා සම කැඳවුම්කරු උදය ගම්මන්පිල මහතා සිය අත්සන තබා ඇත.



























