රට අස්ථාවර කිරීමට කටයුතු කරන පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්

රට අස්ථාවර කිරීමේ අරමුණෙන් සිදු කෙරෙන කිසිදු ක්‍රියාවකට ඉඩ නොදෙන බවත් මෙම සියලු ක්‍රියාවන් ඉතා ඉක්මනින් සමථයකට පත් කිරීමට කටයුතු කරන බවත්  මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්  ඩී.ඩබ්.ආර්.බී. සෙනෙවිතරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

බස්නාහිර පළාතේ සහ  දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලිවල ගැටුම් ගණනාවක් වාර්තා වූ බව පෙන්වා දුන් ඒ මහතා මේ වනවිට එම අපරාධවලට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට සහ විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට හැකි වූ බව සඳහන් කළේය.

මෙම සිදුවීම් පිළීබඳව පැහැදිළි වන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලිවල ගැටුම්කාරී තත්වයන් නිර්මාණය වී ඇති බවත් මේ සඳහා විවිධ හේතු බලපාන බවත් මේ සඳහා දේශපාලනය ද සම්බන්ධ වී ඇති බවත් මෙම සාකච්ඡාවට එක් වෙමින් එ් මහතා පෙන්වා දුන්නේය.

එසේම අලුත්කඩේ සිදුවීමේදී මෙන්ම මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ අපරාධකරුවන්ගේ තොරතුරු ලද වහාම පොලීසිය ක්‍රියාත්මක වී ඝාතකයා හඹා යමින් කොටු කර ගැනීමට පැය කිහිපයක් ඇතුළත හැකිවූ බව සඳහන් කළ ලේකම්වරයා මෑත කාලීනව අපරාධකරුවන් නීතිය ඉදිරියට රැගෙන ඒමට පොලිස් දෙපාර්තමේන්තුව ත්‍රිවිධ හමුදාව,බුද්ධි අංශ, විශේෂ කාර්ය බලකායේ  සහය ලැබී තිබෙන බවත් අවධාරණය කළේය.

මෙම අපරාධ කල්ලිවල නායකයන් , මෙහෙයවන්නන් බොහෝ දෙනෙකු  රටින පිට සිට මෙම කටයුතු මෙහෙයවන බව සඳහන් කළ ඒ මහතා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග රැගෙන මෙම සැකකරුවන් ලංකාවට රැගෙන ඔවුන් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කළ බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

පාතාල කටයුතු මර්දනය කිරිම වනවිට සාර්ථකව සිදු වෙමින් පවතින බව පෙන්වා දුන් ඒ මහතා අන්තර්ජාතික රතු නිවේදන ලබා දී ඇති සැකකරුවන් පසුගිය දිනවල දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවත් එම ක්‍රියාමාර්ග සියල්ල මැනවින් සිදු වෙමින් පවතින බවත් අවධාරණය කළේය.

එසේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයතු යළි ආරම්භ කර ඇති බව පෙන්වා දුන් ඒ මහතා කලින් අනාවරණය නොවූ පැතිකඩයන් අනාවරණය කර ගැනීමට ඉන් හැකිවී ඇති බවත් සඳහන් කළේය.මෙම විමර්ශන අඩපණ කිරීමට පිරිස් කටයුතු කරන බව සඳහන් කළ ලේකම්වරයා රට අස්ථාවර කිරිමට කටයුතු කරන පිරිස් හඳුනාගෙන ඇති අතර ඔවුන් වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද හෙතෙම අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 562

Leave A Reply

Your email address will not be published. Required fields are marked *