හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව පසුගිය බදාදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී රජයේ නීතිඥයින් සහ විත්තියේ නීතිඥයින් අතර දැඩි උණුසුම් වාද විවාද ඇති විය. සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපතිවරයා එහි අසුන්ගෙන සිටි ආකාරය ප්‍රශ්න කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මහතා, සැකකරුවෙකුට එලෙස අසුන් ගත නොහැකි බවත් ඒ සඳහා අධිකරණයේ අවසරය අවශ්‍ය බවත් අවධාරණය කළේය. මෙහිදී මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ද පැමිණිල්ලේ තර්කය පිළිගනිමින් ප්‍රකාශ කළේ අධිකරණයේ අසුන් ගැනීමේදී නිසි ක්‍රියාපටිපාටියක් පවතින අතර එය අනුගමනය කළ යුතු බවයි.මීට අමතරව, රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු රෝහල් ගත වීම සම්බන්ධයෙන් ද පැමිණිල්ල සිය විරෝධය පළ කළේය. රිමාන්ඩ් කළ සැකකරුවෙකු ලෙස ඔහු සෘජුවම ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු වී එහි සිට සිය හිතවතුන් හමුවෙමින් බොරිස් ජොන්සන්ගේ පොත් කියවමින් කාලය ගත කළ බවත්, මෙය පොදු දේපළ අවභාවිතයක් බවත් දිලීප් පීරිස් මහතා චෝදනා කළේය. අධිකරණයේ ඉල්ලීමකින් තොරව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සහ එහි පිටපත් පැමිණිල්ලට ලබා නොදීම පිළිබඳව ද ඔහු ප්‍රශ්න කළේය.කෙසේ වෙතත් විත්තියේ නීතිඥයන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, එම කරුණු තම සේවාදායකයාට අදාළ නොවන බව තර්ක කළහ. මේ අතර, නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුව පෙබරවාරි 11 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. පොදු දේපළ පනත යටතේ සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවූ බැවින් මෙලෙස ඇප ප්‍රතික්ෂේප කෙරුණු අතර, රනිල් වික්‍රමසිංහ මහතාට අප්‍රේල් 29 වනදා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නඩුව කල් තැබිණි.


























