හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිදු කෙරෙන පරීක්ෂණ තවත් මසක කාලයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, මාර්තු මාසය වන විට ඔහුට එරෙහිව විධිමත් ලෙස අධිචෝදනා ගොනු කිරීමට හැකි වනු ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසිනි.හිටපු ජනාධිපතිවරයා එක්සත් රාජධානියේ සිදු කළ සංචාරය නිල නොවන සංචාරයක් බවට සාක්ෂි පවතින බව මෙහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන් අතර, අධිකරණය එම කරුණ පිළිගන්නා බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව මහාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිත බවයි. ඒ අනුව, මෙම නඩුව නැවත 2026 අප්‍රේල් 29 වන දින කැඳවීමට නියමිතව ඇත.

























