පසුගියදා යෙදුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ උපන්දිනය නිමිත්තෙන් විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සුහද හමුවක් පැවැත්විණි. මෙය හුදෙක් උපන්දින සැමරුමකට එහා ගිය, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින දේශපාලන සබඳතාවයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.පසුගිය 19 වැනිදාට යෙදුණු මෙම උපන්දිනය වෙනුවෙන් සැමරුම සංවිධානය කර තිබුණේ රවී කරුණානායක මහතාට පූර්ව දැනුම් දීමකින් තොරවය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා විසින් මෙම චාම් උත්සවය ඉතා රහසිගතව සැලසුම් කර තිබීම විශේෂත්වයකි.මෙම අවස්ථාවට විපක්ෂ නායකවරයාට අමතරව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. රවී කරුණානායක මහතා කාර්යාලයට පැමිණෙන විට සැවොම එක්ව උපන්දින සුබ පැතුම් ගී ගයමින් ඔහුව පිළිගනු ලැබුවේ දැඩි උණුසුම් අයුරිනි.පැමිණ සිටි පිරිස වෙනුවෙන් කේක් ගෙඩි දෙකක්ම සූදානම් කර තිබූ අතර, එහිදී රවී කරුණානායක මහතා විසින් පළමු කේක් කැබැල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කවමින් සිය දේශපාලන සුහදශීලී බව ප්‍රදර්ශනය කළේය. ඉන් අනතුරුව ඔහු සෙසු මන්ත්‍රීවරුන් සමඟ ද කේක් බෙදා ගනිමින් සුහද කතාබහක නිරත විය.මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර යළිත් එක්වීමක් පිළිබඳව රට තුළ විශාල කතාබහක් සහ උනන්දුවක් නිර්මාණය වී ඇති බවයි. දෙපාර්ශවයේම සාමාජිකයන් මේ මොහොතේ දක්වන කැපවීම පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය.සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස් අනුමත කරමින් රවී කරුණානායක මහතා කියා සිටියේ, පක්ෂ දෙකේ එකමුතුව ජනතාවගේ පවතින ප්‍රබල අපේක්ෂාවක් බවයි. මෙම දේශපාලන බලවේග දෙක එක්වීම හරහා රට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකිරීමට ඇති හැකියාව පිළිබඳව ඔහු විශ්වාසය පළ කළේය.පක්ෂ දෙකේ පාක්ෂිකයන් දැනටමත් ගම් මට්ටමින් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවත්, එය ඉහළ නායකත්වය දක්වා ශක්තිමත් විය යුතු බවත් කරුණානායක මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙම හමුව පක්ෂ දෙකේ ඉදිරි දේශපාලන ගමන් මග තීරණය කිරීමට මහත් රුකුලක් වනු ඇත.මෙම උත්සවයේ සංවිධාන කටයුතු මෙහෙයවූ සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පවතින සහෝදරත්වය සහ සමගිය තවදුරටත් තහවුරු කිරීමට මෙවැනි සැමරුම් ඉවහල් වන බවයි. ඉදිරියේදීත් අනෙකුත් මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙවැනි චාම් උත්සව සංවිධානය කරන බව ඔහු පැවසීය.දේශපාලන කේෂ්ත්‍රයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් මෙම හමුව, පක්ෂ දෙකේ අනාගත සන්ධානයක් පිළිබඳ සුබ ලකුණක් ලෙස සැලකේ. දේශපාලන මතවාද කුමක් වුවත්, පොදු අරමුණක් වෙනුවෙන් විපක්ෂයේ සියලු දෙනා එක්වී සිටින බව මෙම සිදුවීමෙන් මනාව පිළිඹිබු විය.





























