රාජසිංහ විද්‍යාලය පරදා බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 18ක තියුණු ජයක්

කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය සහ කොටිකාවත්ත ශ්‍රී රාජසිංහ විද්‍යාලය අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 18ක තියුණු ජයක් වාර්තා කිරීමට බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ. දෙවිද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ දක්ෂතා මැනවින් ප්‍රදර්ශනය වූ මෙම තරගය පුරාවටම ජයග්‍රහණය සඳහා දෙපිලම කරට කර සටනක නිරත වීම කැපී පෙනුණි.​තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය පන්දුවාර 46යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 156ක් රැස් කළේය. බෝමිරිය ඉනිම ශක්තිමත් කළ විදෙව් අනුසර ලකුණු 40ක් සහ රිසිත් රන්මිර ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වූහ. පන්දු යැවීමේදී ශ්‍රී රාජසිංහ විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සිහත් නිම්සුර ලකුණු 32කට කඩුලු 3ක් බිඳ දැමුවේය.​ලකුණු 157ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොටිකාවත්ත ශ්‍රී රාජසිංහ විද්‍යාලයට පන්දුවාර 33යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138ක් පමණි. රාජසිංහ විද්‍යාලය වෙනුවෙන් යෝෂිත නුවන්ත ලකුණු 34ක් සහ තරුන් අබීෂ ලකුණු 25ක් රැස් කළද, බෝමිරිය විද්‍යාලයීය පන්දු යවන්නන් හමුවේ ඔවුන්ගේ ඉනිම ලකුණු 18ක් පිටුපසින් නතර විය. පන්දු යැවීමේදී දස්කම් පෑ රිසිත් රන්මිර ලකුණු 42කට කඩුලු 4ක් දවා ගනිමින් බෝමිරිය විද්‍යාලයේ ජයග්‍රහණය තහවුරු කිරීමට පෙරමුණ ගත්තේය.

What's your reaction?

Related Posts

1 of 1,055

Leave A Reply

Your email address will not be published. Required fields are marked *