කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ “ග්‍රීන් චැනල්” (Green Channel) පිවිසුම හරහා රුපියල් මිලියන 22.4 කට අධික විදේශ මුදල් තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අද (02) උදෑසන ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.අද උදෑසන 8.00 ට පමණ ඉන්දියාවේ බැංගලෝර් සිට ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවයට අයත් 6E-1183 දරන යානයෙන් මොහු කටුනායක වෙත පැමිණ ඇත. ප්‍රකාශ කිරීමට කිසිවක් නොමැති මගීන් සඳහා වෙන් කර ඇති ‘ග්‍රීන් චැනල්’ පිවිසුම හරහා මෙම මුදල් තොගය සඟවාගෙන රේගු පරීක්ෂාවන් මගහරිමින් පිටතට යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් ඔහුව රඳවාගෙන තිබේ.අදාළ සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ යුරෝ 48,900 ක්, ඇමරිකානු ඩොලර් 14,000 ක් සහ ඉන්දියානු රුපියල් 26,650 ක මුදලක් සොයාගත් බව රේගු නිලධාරීන් සඳහන් කළහ. අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට කටුනායක ගුවන්තොටුපළ රේගු භාරයේ රඳවා සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.


























