ඇඳ ඇතිරිලි තොගයක් ලෙස ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින් ඩුබායි රාජ්‍යයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 507ක් වටිනා අඩි 40ක දුම්වැටි කන්ටේනරයක් අද (06) කොළඹ වරායේදී රේගු භාරයට ගන්නා ලදී. බත්තරමුල්ල ප්‍රදේශයේ සමාගමක් වෙත 2025 නොවැම්බර් 23 වනදා එවන ලද මෙම භාණ්ඩ තොගය පිළිබඳ සැක මතු වීමෙන් පසුව සිදු කළ විශේෂ විමර්ශනයකදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.මෙම අදාළ කන්ටේනරය පරීක්ෂා කිරීමේදී එහි තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි කාටන් 16,900ක් සොයාගත් බව රේගු නිලධාරීන් තහවුරු කරයි. මෙම භාණ්ඩ තොගයේ අයිතිය අදාළ ආනයනකරු විසින් ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයක් වන අතර, ජාවාරම්කරුවන් විසින් රේගු පරීක්ෂාවන් මගහැරීමට ගත් උත්සාහයක් ලෙස මෙය සැලකේ.රේගු දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම දුම්වැටි තොගය මෙරටට හොර රහසේ ගෙන්වීම හේතුවෙන් රජයට ලැබිය යුතු රුපියල් මිලියන 460ක අතිවිශාල තීරුබදු ආදායමක් අහිමි වීමට ඉඩ තිබුණි. මෙම සිදුවීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලබන අතර, සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීමට පියවර ගෙන ඇත.





















