අන්තර්ජාල ආයෝජන ව්‍යාපාරයක් හරහා මුදල් උපයාගත හැකි බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 60කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. වයඹ පළාත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ අදාළ කාන්තාව කරන ලද පැමිණිල්ලකට අනුවය.මෙහිදී රුපියල් 6,105,600ක මුදලක් එක් සැකකරුවෙකුගේ බැංකු ගිණුමකට බැර කර ඇති අතර, ඉන් රුපියල් 1,500,000ක මුදලක් වංචනික ලෙස ලබාගෙන අනෙකුත් පාර්ශවයන් අතර බෙදා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් පෙබරවාරි 10 වනදා කොළඹ 02 සහ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 30 සහ 38 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.


























