රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ක්‍රියාත්මක කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, රජයේ තීරණ පිළිබඳව යම් ගැටලුවක් පවතින්නේ නම් ඒ සඳහා නීත්‍යානුකූලව අධිකරණය හමුවට යාමට ඕනෑම පාර්ශවයකට හැකියාව ඇති බවයි. අද (4) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ පවතින ගැටලු විසඳා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී මාවත් විවෘතව පවතින බවයි.තම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් රෝහල්වලට පැමිණෙන අසරණ රෝගීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස යොදා නොගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේදී මහජන සේවාවන්ට බාධා නොවන අයුරින් කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ඔහු, රෝගී ජීවිත අවදානමට ලක් කරමින් සිදුකරන මෙවැනි ක්‍රියාමාර්ග අනුමත කළ නොහැකි බව ද වැඩිදුරටත් සඳහන් කළේය.




















