ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය දැනටමත් දැඩි ඛේදවාචකයකට ඇද වැටී ඇති බවත්, මෙහි බරපතලකම 2026 වසරේදී අපේක්ෂිත 6 ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයේ අසාර්ථකත්වයටත් එහා ගිය එකක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති “නිදහස් අධ්‍යාපනය සුරැකීමේ පොදු වේදිකාව” පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි. 6 ශ්‍රේණියට අදාළ ගැටලුව පිළිබඳව මහජන අවධානය යොමුව තිබුණද, පාසල්, විශ්වවිද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතන ඇතුළු සමස්ත පද්ධතියම වෙළාගත් ගැඹුරු අර්බුදයක් පවතින බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.විපක්ෂ නායකවරයා පවසන්නේ මෙම තත්ත්වය ක්ෂණිකව ඇති වූවක් නොව, නිසි පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයකින් තොරව සහ විධිමත් සාකච්ඡාවලින් බැහැරව සිදුකළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් කාලයක් තිස්සේ වර්ධනය වූවක් බවයි. දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා අධ්‍යාපනය කෙරෙහි අවංක සහ පුළුල් අවධානයක් යොමු කිරීමේ හදිසි අවශ්‍යතාවය ඔහු මෙහිදී අවධාරණය කළේය. ලක්ෂ 41කට අධික පාසල් දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කළ යුතු බව පවසන ප්‍රේමදාස මහතා, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ විවෘතභාවය රැකගැනීමට අපොහොසත් වුවහොත් එය රටේ අනාගතයට දීර්ඝකාලීන බලපෑමක් එල්ල කරනු ඇති බවට ද අනතුරු ඇඟවීය.


























