ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 770,000ක් පමණ වටිනා විසිතුරු පැළ තොගයක් කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන් තොටුපළ “හරිත මාවත” (Green Channel) ඔස්සේ කිසිදු බාධාවකින් තොරව මෙම පැළ තොගය රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී රේගු පරීක්ෂාවට ලක්වීමෙන් මෙම ජාවාරම අනාවරණය විය.මෙලෙස රේගු භාරයට ගෙන ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙකි. ඔහු සිය ගමන් මලු තුළ සූක්ෂ්ම ලෙස සඟවාගෙන විසිතුරු පැළ 229ක් මෙරටට ගෙනවිත් තිබූ අතර, සැකකරු ගුවන් තොටුපළෙන් පිටවීමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ට ඇති වූ සැකය මත සිදුකළ විශේෂ සෝදිසියකදී මෙම පැළ තොගය හමු වී ඇත.මෙම පැළ ආනයනය කිරීමේදී මෙරට වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත මෙන්ම ශාක නිරෝධායන පනතේ දැඩි නීති රීති උල්ලංඝනය කර ඇති බව රේගු පරීක්ෂණවලදී තහවුරු විය. කිසිදු නිසි අවසර පත්‍රයක් හෝ නිරෝධායන සහතිකයකින් තොරව මෙම පැළ තොගය රැගෙන ඒම හේතුවෙන් රේගුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.






















