ලක්ෂ 31ක අන්තර්ජාල මූල්‍ය වංචාව: ගිණුම් විකුණූ සැකකරුවන් දෙදෙනෙකු දැලේ

අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන ව්‍යාපාර හරහා කාන්තාවන් රවටා රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු සහ සැකකාරියක වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලාභදායී ව්‍යාපාරික අවස්ථා ලබාදෙන බව පවසමින් සිදුකළ මෙම මූල්‍ය ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් මත මෙම විමර්ශනය ක්‍රියාත්මක කර ඇත.​විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පැමිණිලිකාරියකගෙන් වංචා කරන ලද රුපියල් ලක්ෂ 31කට අධික මුදලින් කොටසක් සැකකාරියගේ නමින් ඇති බැංකු ගිණුමකට බැර කර ඇති බවයි. පසුව ඇය එම ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවි කර ඇති බව හෙළි විය. ගාල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම සැකකාරිය ඊයේ (12) දින අත්අඩංගුවට පත්වූවාය.​මීට සමාන තවත් සිද්ධියකදී වංචා කළ මුදලින් කොටසක් සැකකරුගේ නමින් පවතින ගිණුමකට බැර වී තිබූ අතර, ඔහුද එම ගිණුම තෙවන පාර්ශවයකට මුදලට විකුණා ඇති බව පොලිසිය පවසයි. මෙම සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. මොවුන් දෙදෙනාම රුපියල් ලක්ෂ දෙකකට අධික මුදල් ප්‍රමාණයන් තම ගිණුම් හරහා හුවමාරු කර ගැනීමට ඉඩ දී තිබේ.​මෙම ජාවාරම්කරුවන් අහිංසක පුද්ගලයන්ගේ බැංකු ගිණුම් මිලදී ගෙන ඒවා අපරාධ සහ මූල්‍ය වංචා සඳහා භාවිත කරන බව විමර්ශන නිලධාරීන් පෙන්වා දෙයි. තමන්ගේ නමින් පවතින බැංකු ගිණුම් හෝ ඒවායේ දත්ත කිසිදු හේතුවක් මත වෙනත් පාර්ශව වෙත ලබා නොදෙන ලෙස පොලිසිය මෙහිදී මහජනතාවට විශේෂ දැනුම්දීමක් කරයි.​අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි. මෙම මහා පරිමාණ වංචාවේ ප්‍රධාන මහමොළකරුවන් සොයා මේ වන විටත් විශේෂ විමර්ශන මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,012

Leave A Reply

Your email address will not be published. Required fields are marked *