ලබන මැයි මාසයේ මැද භාගය වන තෙක් මෙරට පාරිභෝගිකයින්ට කිසිදු හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. අවශ්‍ය තරම් ඉන්ධන තොග මේ වන විටත් මෙරටට ලැබෙමින් පවතින බැවින් ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, ඉදිරි සති කිහිපය සඳහා අවශ්‍ය සැපයුම් දාමය දැනටමත් ස්ථාවර කර ඇති බවයි. විශේෂයෙන්ම උත්සව සමය සහ ඉන් පසුව එළඹෙන සති කිහිපය තුළ ඉල්ලුමට සරිලන සේ බෙදාහැරීම් සිදු කෙරෙනු ඇත.මීට අමතරව, මෙරට මහා පරිමාණ කර්මාන්තශාලා සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා අවශ්‍ය වන ඉන්ධන තොග ද කිසිදු ගැටලුවකින් තොරව ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. ඒ අනුව කාර්මික අංශයේ මෙහෙයුම් සඳහා අවශ්‍ය සැපයුම් සෘජුවම සංස්ථාව හරහා බාධාවකින් තොරව ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.





















