ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන, දිවයිනේ දක්ෂතම වේගපන්දු යවන්නන් තෝරා ගැනීමේ සුවිශේෂී වැඩසටහනක පළමු අදියර අද (14) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සැඟවී ඇති දක්ෂතා හඳුනාගෙන ඔවුන් ජාත්‍යන්තර මට්ටම දක්වා ඔසවා තැබීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත. මීට සමගාමීව හිටපු ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ හිටපු වේගපන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසක් දක්ෂයන් ඇගයීම සඳහා එක්ව සිටීම විශේෂත්වයකි.මෙම තේරීම් පරීක්ෂණයේදී ක්‍රීඩකයින්ගේ කායික යෝග්‍යතාවය කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරුණු අතර, කිලෝමීටර් 2ක දුරක් විනාඩි 8යි තත්පර 30ක කාලයක් ඇතුළත නිම කළ හැකි ක්‍රීඩකයින්ට පමණක් මීළඟ අදියර සඳහා අවස්ථාව හිමි විය. එලෙස කායික යෝග්‍යතාවය සනාථ කළ දක්ෂයින් අද සවස් කාලයේදීම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙත යොමු කෙරුණේ ඔවුන්ගේ පන්දු යැවීමේ වේගය සහ තාක්ෂණය පරීක්ෂා කිරීම සඳහාය. දැඩි තරගකාරීත්වයක් මධ්‍යයේ ක්‍රීඩකයින් විශාල පිරිසක් සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙහිදී ඉදිරිපත් වී සිටියහ.මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග සහ ධම්මික ප්‍රසාද් යන මහත්වරුන් සඳහන් කළේ, මෙරට පර්යන්ත ප්‍රදේශවල නිසි අවස්ථාවන් නොලද දක්ෂ පන්දු යවන්නන් සොයා ගැනීමට මෙම වැඩසටහන මහඟු අත්වැලක් වනු ඇති බවයි. අනාගත ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කළ හැකි වේගවත්ම සහ දක්ෂතම පන්දු යවන්නන් පිරිසක් මෙමගින් හඳුනාගත හැකි වනු ඇතැයි ඔවුහු දැඩි විශ්වාසය පළ කළහ. ක්‍රීඩා ලෝලීන්ගේද නොමඳ අවධානය දිනාගත් මෙම වැඩසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව ප්‍රබෝධයකට මග පාදන්නක් වනු නොඅනුමානය.


























