’Travel + Leisure’ සඟරාව විසින් සම්පාදනය කරන ලද “2026 දී සංචාරය කිරීමට හොඳම ස්ථාන 50” ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ. ‘Travel + Leisure’ හි වාර්ෂික ලැයිස්තුව මඟින් ගමනාන්තයන් හඳුනාගනු ලබන්නේ ප්‍රවේශවීමේ හැකියාව, සංස්කෘතික වැදගත්කම, අද්විතීය අත්දැකීම් සහ නැගී එන සංචාරක ප්‍රවණතා මත පදනම්වය. මේ වසරේ, ශ්‍රී ලංකාව එහි විවිධ ආකර්ෂණ ස්ථාන, ස්වභාව සෞන්දර්යය සහ පොහොසත් සංස්කෘතික උරුමය වෙනුවෙන් ඇගයීමට ලක් විය. මෙම සඟරාවේ විශේෂඥයින් නිර්දේශ කර ඇත්තේ උතුරු නගරයක් වන යාපනය, හෝර්ටන් තැන්න කඳුකර ප්‍රදේශය සහ වික්‍රමාන්විත ගමන් හා කඳු නැගීම සඳහා දර්ශනීය තේ වතු ගවේෂණය කරන ලෙසයි. දකුණු වෙරළ තීරයේ සංචාරකයින්ට මිරිස්සෙන් යාත්‍රා චාරිකා, දුරස්ථ වෙරළ තීරයන් සහ කුඩාවැල්ල වැනි ධීවර ගම්මාන නැරඹීමට අවස්ථාව ලබා ගත හැකිය. සංචාරක ක්‍රියාකරුවන් 2026 වසර සඳහා ශ්‍රී ලංකා සංචාරක සැලසුම් පුළුල් කරමින් සිටින අතර, ‘Insight Vacations’ විසින් කොළඹ තුන්රෝද රථ චාරිකාවකින් ආරම්භ වන, නගර නවයක් ආවරණය වන දින 13ක සංචාරයක් දියත් කිරීමට නියමිතය. ‘Trafalgar’ විසින් තේ වතු හරහා දුම්රිය ගමන් සහ යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන් නැරඹීමේ අවස්ථා හඳුන්වා දෙනු ඇත. පුද්ගලික තටාක සහ ආසන්න වන ජීවීන් සමඟින් යුත් කොටියාගල සුඛෝපභෝගී විලාස් (Kotiyagala Luxury Villas) ඇතුළු නව සුඛෝපභෝගී නවාතැන් ද සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින් තිබේ. ‘Travel + Leisure A-List’ උපදේශක රුමිත් මෙහ්තා මහතා පැවසුවේ, ශ්‍රී ලංකාව “තනි ගමනාන්තයක්” (stand-alone destination) බවට පත්ව ඇති බවයි. ඔහු මෙහි යුනෙස්කෝ ලෝක උරුම අඩවි අට, පෘතුගීසි, ලන්දේසි සහ බර්ගර් සම්ප්‍රදායන්ගෙන් ආභාෂය ලැබූ බහුසංස්කෘතික උරුමය සහ සිවිල් යුද්ධයෙන් පසු සිදුවන ප්‍රකෘතිමත් වීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළේය.






















