ලෝකවාසී මුස්ලිම් ජනතාවට ජනපති අනුර කුමාර දිසානායකගෙන් ඊද් මුබාරක් සුබපැතුම්!

මුස්ලිම් බැතිමතුන් මාසයක් පුරා උපවාසයේ යෙදී නව සඳ දැකීමෙන් පසු සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය දින දර්ශනයේ ඉතා වැදගත් අවස්ථාවකි. ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් එකක් වන රාමසාන් උපවාසය මඟින් ලෞකික ආශාවන්ගෙන් දුරස් වී, පරිත්‍යාගය සහ ඉවසීම පදනම් කරගත් ගුණගරුක ජීවන රටාවක වැදගත්කම පිළිඹිබු කරයි. මෙම කාලසීමාව තුළ කුසගින්නේ වේදනාව තමාගේම වේදනාවක් ලෙස හඳුනා ගනිමින් අනුන් කෙරෙහි අනුකම්පාව දැක්වීම, සහෝදරත්වය සහ මානුෂීය ගුණාංග ලොවට ආදර්ශයෙන් පෙන්වා දෙයි. සාමය, සමානාත්මතාවය සහ සහජීවනය වැනි උදාර වටිනාකම් තුළින් මෙම කාලය බැතිමතුන්ගේ ආධ්‍යාත්මික පෝෂණයට මහෝපකාරී වන බව මගේ විශ්වාසයයි.​ලෝකය දුෂ්කර හා අභියෝගාත්මක කාලවකවානුවකට මුහුණ දී සිටින මොහොතක මෙවර ඊදුල් ෆිතර් උත්සවය යෙදී තිබේ. මෙම රමසාන් සමයේ ඉටුකළ වත්පිළිවෙත් සහ ප්‍රාර්ථනාවන්හි ආශිර්වාදයෙන් එම අභියෝග ඉක්මනින් සමනය වී, සැමගේ අයිතිවාසිකම් සහ නිදහස සුරක්ෂිත වන, සාමය සහ සෞභාග්‍යය පිරි ලොවක් උදාවනු ඇතැයි මම අවංකවම ප්‍රාර්ථනා කරමි.​අතීතයේදී අප අභියෝග ජයගත් අයුරින්ම, වත්මන් අභියෝගවලටද නොබියව මුහුණ දෙමින් රටේ ආර්ථිකය සහ ජන ජීවිතය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට රජය ලෙස අප කැපවී සිටිමු. ඒ වෙනුවෙන් සියලු භේද පසෙකලා ජාතික ප්‍රයත්නයට එක්වන ලෙස මම සැමගෙන් ඉල්ලා සිටිමි. ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝකවාසී මුස්ලිම් ජනතාවට සාමය සහ සහජීවනය පිරි ඊදුල් ෆිතර් උත්සවයක් වේවායි මම හදවතින්ම සුබ පතමි!

What's your reaction?

Related Posts

1 of 1,058

Leave A Reply

Your email address will not be published. Required fields are marked *