​ලෝක ආර්ථික සමුළුවේදී අග්‍රාමාත්‍ය හරිනිගෙන් ප්‍රබල ප්‍රකාශයක්!

ලෝක දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රයන් තුළ කාන්තාවන් සිය දායකත්වය සක්‍රීයව සලකුණු කළද, ගෙවීමක් නොලබන සත්කාරක සේවා, අවිධිමත් ශ්‍රම වෙළඳපොළ සහ කෘෂිකාර්මික අංශයන්හි ඔවුන්ගේ දායකත්වය තවමත් ක්‍රමානුකූලව අවතක්සේරුවට ලක්වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ‘World Woman Davos Agenda 2026’ සමුළුව අමතමින් ඇය අවධාරණය කළේ, තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් කාන්තාවන් බැහැර කිරීම අහම්බයක් නොව, එය පුරුෂාධිපත්‍යය මත පදනම් වූ බල ව්‍යුහයන් හරහා සැලසුම්සහගතව පවත්වාගෙන යන්නක් බවයි. විශේෂයෙන්ම දේශපාලනයේ නියැලෙන කාන්තාවන් ඉලක්ක කර ගනිමින් එල්ල වන හිරිහැර සහ මඩ ගැසීම් හරහා දක්ෂ කාන්තාවන් එම ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන බව පෙන්වා දුන් ඇය, මෙය හුදෙක් කාන්තාවන් “ආරක්ෂා කිරීම” පිළිබඳ ගැටලුවක් නොව, පවතින ආයතනික පද්ධතීන් සහ බල ව්‍යුහයන් මුළුමනින්ම පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් බව ද සඳහන් කළාය.​ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, දේශපාලන කැපවීම සහ ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව එක් වූ විට ලබාගත හැකි ජයග්‍රහණ ශ්‍රී ලංකාව මනාව පෙන්නුම් කර ඇති බවයි. වත්මන් රජය යටතේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් 20 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීම වඩාත් ඇතුළත් කරගත් පාලන ක්‍රමයක පෙරනිමිත්තක් බව ඇය පෙන්වා දුන්නාය. නායකත්වය යනු පවතින ව්‍යුහයන් තුළ අසුන් ගැනීම පමණක් නොව, එම ව්‍යුහයන්ම ප්‍රතිසංස්කරණය කිරීම බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරිය, අනාගත ලෝක පිළිවෙළ හැඩගස්වන ප්‍රතිපත්ති සම්පාදනයේදී කාන්තාවන් සහ කොන් කර ඇති ප්‍රජාවන් හුදු සහභාගිවන්නන් පමණක් නොව එහි ප්‍රධාන සැලසුම්කරුවන් විය යුතු බවට ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියාය.

What's your reaction?

Related Posts

1 of 980

Leave A Reply

Your email address will not be published. Required fields are marked *