ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය සහ යුරෝපය නියෝජනය කරන වෘත්තිකයන්ගේ හා වෘත්තීය සංවිධාන සම්මේලනය සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. මෙරට පාරිභෝගිකයා මුහුණ දෙන අභියෝග සහ අයිතිවාසිකම් සුරැකීමේ ඇති වැදගත්කම පිළිබඳව විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙහිදී ගැඹුරු සාකච්ඡාවකට මඟ පෑදිණි.මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කළේ, රජයට බලපෑම් කළ හැකි ශක්තිමත් පාරිභෝගික සමිති නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයි. ගෝලීය යුද ගැටුම් පිටුපස සිටින ව්‍යාපාරික බලවේග හමුවේ අවසානයේ දුක් විඳින්නේ පාරිභෝගිකයා බවත්, බලධාරීන් වෙත ආර්ථිකමය පණිවුඩයක් යැවීමට පාරිභෝගිකයන් සංවිධානය විය යුතු බවත් ඔහු පැවසීය. විශේෂයෙන්ම, තමන්ට සිදුවන අසාධාරණයන් වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගිකයාට ඇති අයිතිය ඔහු පෙන්වා දුන්නේය.පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපති සරත් විජේසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, දියුණු රටවල පාරිභෝගිකයා “රජෙකු” ලෙස සැලකුවද මෙරට තත්ත්වය ඊට වෙනස් බවයි. පාන් ගෙඩියක් මිලදී ගැනීමේදී පවා පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නීති පවතින බව පෙන්වා දුන් ඒ මහතා, වර්තමාන පාරිභෝගික අධිකාරියේ බලධාරීන් මෙවැනි වැදගත් සාකච්ඡා මඟහැරීම පිළිබඳවද සිය කනගාටුව පළ කළේය.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දුෂාන් ජයවික්‍රම මහතා පෙන්වා දුන්නේ වර්තමාන කළමනාකරණ උපාධිධාරීන් බිහිවන්නේම පාරිභෝගිකයාට ගරු කිරීමේ පදනම මත බවයි. එසේ වුවද, වත්මන් වෙළඳපොළ තුළ පාරිභෝගිකයා දැඩි බියකින් හා අවිශ්වාසයකින් පසුවන බව ඔහු නිරීක්ෂණය කළේය. පාරිභෝගිකයාගේ එම බිය දුරු කර විශ්වාසය තහවුරු කිරීම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වගකීමක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.සම්මන්ත්‍රණය අමතමින් ආචාර්ය වින්‍යා ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර එය තමන්ට සැබවින්ම අත්‍යවශ්‍යද යන්න පිළිබඳව නැවත සිතා බැලීම පාරිභෝගිකයාගේ වගකීමක් බවයි. මෙවර පාරිභෝගික දිනය විශේෂ තේමාවක් යටතේ සමරන අතර, පාරිභෝගිකයා වඩාත් විචාරශීලී ලෙස වෙළඳපොළ හැසිරීම් දෙස බැලිය යුතු බවට වූ පණිවුඩය සමඟින් වැඩසටහන නිමාවට පත් විය.


























