ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරමින් ඉදිරි වසර හතර තුළ (2026-2030) තිරසාර වර්ධනයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව නව ‘හවුල්කාරිත්ව රාමුවක්’ හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන යටතේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හරහා ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික දැවැන්ත ආයෝජනයක් මෙරටට ගලා ඒමට නියමිතය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ පෞද්ගලික අංශය බලගන්වා 7% ක ආර්ථික වර්ධන ඉලක්කයක් කරා ගමන් කරමින් නව රැකියා උත්පාදනය කිරීමයි.මෙම ආයෝජන ප්‍රධාන වශයෙන් වරාය හා සැපයුම් දාම, බලශක්ති ක්ෂේත්‍රය, අපනයන කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය වැනි ඉහළ විභවයක් සහිත අංශ වෙත යොමු කෙරේ. මෙරට ආර්ථිකයේ සංවර්ධන කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින් ගෝලීය වෙළෙඳපොළ ජය ගැනීම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම මෙම නව සැලැස්මේ සුවිශේෂී ලක්ෂණයකි. මීට අමතරව, ආර්ථික ප්‍රවේශයන් පුළුල් කිරීම හරහා දේශීය ව්‍යවසායකත්වයට නව ජවයක් ලබා දීමට ද අපේක්ෂිතයි.ආර්ථික වර්ධනයට අමතරව, සමාජීය සාධාරණත්වය ඉටු කරමින් කාන්තාවන්, තරුණ ප්‍රජාව සහ උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. අනාගතයේදී ඇතිවිය හැකි ආර්ථික අර්බුද මෙන්ම දේශගුණික විපර්යාස හමුවේ රටේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම ද මෙම පස් අවුරුදු සැලැස්මේ ප්‍රමුඛතම අංගයකි. මෙමඟින් ශ්‍රී ලංකාව වඩාත් ශක්තිමත් සහ සුරක්ෂිත ආර්ථිකයක් කරා මෙහෙයවීමට බලධාරීන් සැලසුම් කර ඇත.





















