ලෝක බැංකු අරමුදල් සහිත නව ව්‍යාපෘතිය: සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණින්, රජය විසින් ලෝක බැංකු සමූහයට අයත් අන්තර්ජාතික සංවර්ධන සංගමය (IDA) සමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක මූල්‍ය ගිවිසුමක් අත්සන් කර තිබේ. 2024 සිට 2028 දක්වා දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය, බෝ නොවන රෝග වැළැක්වීම සහ කළමනාකරණය, වැඩිහිටි හා රෝග නිවාරණ සත්කාර (palliative care), ප්‍රජා මට්ටමේ සේවා ශක්තිමත් කිරීම සහ දේශගුණික විපර්යාස ආශ්‍රිත හදිසි අවස්ථාවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම ව්‍යාපෘතියේ දී හඳුනාගත් ප්‍රධාන අභියෝගයක් වන්නේ, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (PHM), මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI), ප්‍රාථමික සත්කාර හෙදියන් සහ නිරීක්ෂණ කණ්ඩායම් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීමයි. මෙම අවශ්‍යතාවය සපුරාලීම සඳහා, ක්ෂේත්‍ර මෙහෙයුම්, නිවාස පාදක සත්කාර සහ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් වැඩිදියුණු කිරීමට මෙන්ම, සායනික අපද්‍රව්‍ය සහ වෛද්‍ය සැපයුම් ආරක්ෂිතව සහ නියමිත වේලාවට ප්‍රවාහනය කිරීමට හැකිවන පරිදි වාහන සමූහයක් මිලදී ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අනුමත කරන ලද වාහන සමූහයට සායනික අපද්‍රව්‍ය ප්‍රවාහන ලොරි 26ක්, ද්විත්ව කැබ් රථ 26ක්, ආසන දහයේ වෑන් රථ 5ක්, ආසන 42 බැගින් වූ බස් රථ 2ක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා ස්කූටර් 2,891ක්, මහජන සෞඛ්‍ය හෙදියන් සඳහා ස්කූටර් 200ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරුපැදි 1,350ක්, රසායනාගාර සේවා සඳහා ස්කූටර් 200ක්, වෛද්‍ය සැපයුම් අංශය සඳහා ශීතකරණ සහිත ට්‍රක් රථ 20ක්, වෛද්‍ය සැපයුම් අංශය සඳහා ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර 8ක්, පුත්තලම කොට්ඨාස සෞඛ්‍ය කාර්යාලය සඳහා එක් ‘ක්‍රූ කැබ්’ රථයක් සහ යාපනය දිස්ත්‍රික්කය සඳහා ගිලන් රථ සමූහයක් ඇතුළත් වේ. මෙම මුලපිරීම මගින් ක්ෂේත්‍ර වැඩ කටයුතුවල කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇතැයි, ප්‍රජා සෞඛ්‍ය ආවරණය පුළුල් වනු ඇතැයි, සහ සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *