වකුගඩු සෞඛ්‍යය සුරකිමු: නිසි රෝග විනිශ්චය මගින් ජීවිතය දිනාගන්නා හැටි

ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහනයෙන් සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් අයෙකුම වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ චම්පිකා වික්‍රමසිංහ මහත්මිය පෙන්වා දුන්නේ හඳුනා නොගත් රෝගීන් ද ඇතුළුව මෙම සංඛ්‍යාලේඛන ඉහළ මට්ටමක පවතින බවයි. වාර්ෂිකව මෙරටින් වකුගඩු රෝගීන් 5,000ක් පමණ අලුතින් ප්‍රතිකාර සඳහා එක්වන අතර, එම ප්‍රමාණයම වකුගඩු රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීම දැඩි අවධානය යොමු කළ යුතු කරුණකි.​වකුගඩු රෝගය හඳුනාගැනීම සම්බන්ධයෙන් ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ එහි රෝග ලක්ෂණ මතු වන්නේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය 70%ක් පමණ අඩාල වූ පසුව වීමයි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ ශරීරයේ අපද්‍රව්‍ය බැහැර කිරීම සහ සමතුලිතතාව රැකගැනීමට වකුගඩු දෙක අත්‍යවශ්‍ය වන බවයි. රෝගය උත්සන්න වීමට පෙර හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ මේ වන විට විශේෂ මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර, මුල් අවධියේදීම රෝගීන් හඳුනාගැනීම හරහා වඩාත් සාර්ථක ප්‍රතිකාර ලබා දීමට රජයේ රෝහල් පද්ධතිය සූදානමින් සිටී.​වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය නාලක හේරත් මහතා පෙන්වා දෙන්නේ දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වකුගඩු රෝගයට ප්‍රධානතම හේතු සාධක වන බවයි. මෙරට ජනගහනයෙන් හතරෙන් එකකට දියවැඩියාවත්, තුනෙන් එකකට අධික රුධිර පීඩනයත් පවතින බැවින්, එවැනි රෝගීන් නිරන්තරයෙන් වකුගඩු පරීක්ෂාවන් සිදු කර ගැනීම අනිවාර්ය වේ. මීට අමතරව මී උණ සහ සර්ප දෂ්ට කිරීම් නිසා ඇතිවන හදිසි වකුගඩු අකර්මන්‍ය වීම් නිසි ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත් කළ හැකි බව ද ඔහු අවධාරණය කළේය.​වකුගඩු රෝගය අවධි පහකින් යුක්ත වන අතර, මුල් අවධීන්හිදී රෝගය හඳුනාගැනීමෙන් එය නිට්ටාවටම සුව කර ගැනීමට හෝ රෝගය උත්සන්න වීම පාලනය කර ගැනීමට හැකියාව පවතී. අවසන් අදියරේ පසුවන රෝගීන් සඳහා රුධිර කාන්දුකරණය (Dialysis) සහ වකුගඩු බද්ධ කිරීම වැනි මිල අධික හා සංකීර්ණ ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය වුවද, රජයේ රෝහල් හරහා එම පහසුකම් නොමිලේ සැපයීමට පියවර ගෙන ඇත. වසරකට වකුගඩු බද්ධ කිරීම් 300ක් පමණ මේ වන විට සාර්ථකව සිදු කරනු ලබයි.​දෛනික චර්යාවන්හි සිදු කරන සරල වෙනස්කම් මගින් වකුගඩු රෝගයෙන් ආරක්ෂා විය හැකි බව වෛද්‍යවරු උපදෙස් දෙති. විශේෂයෙන්ම ආහාර වේලෙහි ලුණු භාවිතය අවම කිරීම, කාබෝහයිඩ්‍රේට් බහුල බත් සහ පාන් වැනි ආහාර පාලනය කිරීම මෙන්ම ක්‍රමවත් ව්‍යායාමවල නිරත වීම ඉතා වැදගත් වේ. වකුගඩු රෝගීන් පවා පෝෂණීය ආහාර වේලක් ලබා ගත යුතු අතර, වෛද්‍ය උපදෙස් මත මස්, මාළු සහ එළවළු සමබරව ආහාරයට එක් කර ගැනීම රෝගය පාලනයට අත්‍යවශ්‍ය වේ.​පවතින දැඩි උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ශරීරය විජලනය වීම වැළැක්වීමට වැඩිපුර ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් එළිමහනේ සේවය කරන පුද්ගලයන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. කෙසේ වෙතත්, දැනටමත් වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් තමන් පානය කළ යුතු ජලය ප්‍රමාණය පිළිබඳව අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,065

Leave A Reply

Your email address will not be published. Required fields are marked *