වගා හානි වන්දි කඩිනම් කෙරේ: ගොවීන්ට වැදගත් දැනුම්දීමක්!

දිවයින පුරා බලපෑ අයහපත් කාලගුණය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති වගා හානි සඳහා වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව මෙම වන්දි ලබා දීම සිදු කිරීමට නියමිත බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.​අනිවාර්ය රක්ෂණයට යටත් බෝගයන් වන වී, බඩඉරිඟු, ලොකුලූනු, අර්තාපල්, මිරිස් සහ සෝයා බෝංචි වගාවන්ට සිදුව ඇති හානි තක්සේරු කර, වන්දි මුදල් කඩිනමින් ලබා දීමට නියමිතය. ගංවතුර බැස ගිය වහාම මෙම වගාවන්හි හානි තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.​කෙසේ වෙතත්, දැනට පවතින තත්ත්වය යටතේ හානි පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නොහැකි බැවින්, ගංවතුර තත්ත්වය පහව ගිය වහාම ගොවීන් විසින් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මණ්ඩලය විශේෂ ඉල්ලීමක් කරයි. ඒ අනුව, ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි පවත්වාගෙන යන හානි දැනුම්දීමේ පොත්වල සිදුව ඇති හානිය පිළිබඳව සටහන් කිරීම හෝ අදාළ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී මහතා දැනුවත් කිරීම අනිවාර්ය වේ.​එමෙන්ම, ඉහත සඳහන් කළ අනිවාර්ය රක්ෂණයට අදාළ නොවන සෙසු වගාවන්ට සිදුව ඇති හානි සම්බන්ධයෙන්ද අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ හානි වාර්තා කිරීමේ පොත්වල සටහන් කළ යුතු බවට ගොවීන්ට දැනුම් දෙයි.​වන්දි ලබා දීම සම්බන්ධ උපදෙස් හෝ ගැටළු සඳහා ගොවීන්ට පහසුකම් සැලසීම පිණිස කෘෂි රක්ෂණ මණ්ඩලයේ හදිසි ඇමතුම් අංකය වන 1928 මගින්ද අවශ්‍ය සහාය ලබා ගත හැකි බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 890

Leave A Reply

Your email address will not be published. Required fields are marked *