වතු වැටුප් වැඩිවීම රවටාලීමක්ද? ජීවන් තොණ්ඩමන්ගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා!

​වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජය සහ ප්‍රාදේශීය වතු සමාගම් ඇතිකරගත් ගිවිසුම විනිවිදභාවයකින් තොර සහ කම්කරු අයිතීන් අනතුරේ හෙලන්නක් බව ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි. වැටුප් වැඩිවීමට තමන් විරුද්ධ නොවන නමුත්, රජය පොරොන්දු වූ රුපියල් 2,138ක මූලික වැටුප වෙනුවට රුපියල් 1,750ක මුදලකට එකඟ වීමත්, අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට හෝ මහජනතාවට ඉදිරිපත් නොකිරීමත් ඔහු දැඩි ලෙස විවේචනය කළේය. වසර 20ක් තිස්සේ පාඩු ලබන බව පවසන වතු සමාගම් තවදුරටත් වතු පවත්වාගෙන යන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, රජය මහජන මුදලින් මෙම සමාගම්වලට සහනාධාර ලබාදීම අසාධාරණ බවද පෙන්වා දුන්නේය.​මෙම ගිවිසුම නීත්‍යානුකූලව බලපැවැත්වෙන පරිදි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් කම්කරුවන්ට හිමිවිය යුතු EPF, ETF සහ ප්‍රසූතිකාධාර වැනි වරප්‍රසාද අහිමි වීමේ අවදානමක් පවතින බව හෙතෙම අනාවරණය කළේය. විශේෂයෙන්ම, ගිවිසුමේ අඩංගු කොන්දේසි අනුව පාරිතෝෂික දීමනා ලබාගැනීමට වසරකට දින 180ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතු වීම සහ වැටුප් වැඩිවීමට සාපේක්ෂව දෛනිකව නෙළිය යුතු තේ දලු ප්‍රමාණය කිලෝග්‍රෑම් 20 සිට 26 දක්වා ඉහළ දැමීම හරහා කම්කරුවන් තවදුරටත් සූරාකෑමට ලක්වන බව තොණ්ඩමන් මහතා අවධාරණය කළේය. මෙම තාවකාලික මූල්‍ය සහනාධාර කම්කරුවන්ගේ දිගුකාලීන අයිතිවාසිකම් පාවාදීමක් නොවිය යුතු බව පවසන මන්ත්‍රීවරයා, වහාම මෙය ගැසට් කර වගකීම සහගත ලෙස ක්‍රියා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,008

Leave A Reply

Your email address will not be published. Required fields are marked *