ශ්‍රී ලංකාවේ වටිනා ස්වභාවික වන සම්පත් ආරක්ෂා කර ගැනීම අරමුණු කරගනිමින්, “වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය හෙට (03) දින නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය. පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් මෙය සිදුවේ. මෙම මෙහෙයුම් ඒකකය පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන අතර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයින්ගෙන් සමන්විත වේ.මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ වනාන්තර සහ වනජීවීන් සුරැකීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සහ වන අපරාධ වැළැක්වීම හා මර්දනය කිරීමයි. ඒ සඳහා මෙම ඒකකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන ක්ෂණික ඇමතුම් සේවාවක් මඟින් සක්‍රීයව ක්‍රියාත්මක වේ. මහජනතාවට වනාන්තර පද්ධතිවලට සිදුවන හානි පිළිබඳ තොරතුරු 1995 කෙටි දුරකථන අංකය ඔස්සේ මෙම මෙහෙයුම් ඒකකයට ලබා දිය හැකි අතර, ලැබෙන තොරතුරු අනුව අදාළ නිලධාරීන් කඩිනම් මෙහෙයුම් සිදු කිරීමට සූදානම් වේ. මෙමඟින් වන අපරාධ පිළිබඳ තොරතුරු එකම මධ්‍යස්ථානයක් හරහා රැස් කිරීම, වර්ගීකරණය කිරීම සහ විශ්ලේෂණය කිරීමේ පසුබිමක් සකස් වේ.මෙහිදී වන අපරාධ මර්දනය සඳහා අවශ්‍ය වන මානව සම්පත්, උපකරණ සහ තාක්ෂණය වඩාත් විධිමත් ලෙස යෙදවීමට කටයුතු කරනු ඇත. විශේෂයෙන්ම, ඩ්‍රෝන යානා, චන්ද්‍රිකා රූප සහ GPS වැනි නවීන තාක්ෂණය භාවිත කරමින් වනාන්තර කලාප නිරීක්ෂණය සහ අධීක්ෂණය කිරීමට බලාපොරොත්තු වේ. මෙම ඒකකය ස්ථාපිත කිරීම හරහා වන අපරාධකරුවන්ට තම ක්‍රියාකාරකම් පහසුවෙන් සිදු කිරීමට ඇති ඉඩකඩ ඇහිරෙන අතර, අනවසර දැව කැපීම, ඉඩම් අල්ලා ගැනීම සහ වනාන්තර ගිනි තැබීම් වැනි ක්‍රියා කඩිනමින් නතර කිරීමේ හැකියාව පරිසර අමාත්‍යාංශය අපේක්ෂා කරයි.






















