ව්‍යාජ ‘Victoria’s Secret’ විකුණූ පිටකොටුවේ වෙළෙන්දන්ට ලක්ෂ 6ක දඩ!

ප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාමයක් වන ‘Victoria’s Secret’ නාමය යටතේ ව්‍යාජ සුවඳ විලවුන් ළඟ තබා ගැනීම, බෙදා හැරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පිටකොටුවේ වෙළෙන්දන් තිදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා රුපියල් 600,000ක දඩයක් නියම කළේය. බුද්ධිමය දේපළ නීති උල්ලංඝනය කිරීම සහ ව්‍යාජ භාණ්ඩ ආනයනය කර අලෙවි කිරීම මගින් රජයට ගෙවිය යුතු බදු පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් වැරදිකරුවන් වී ඇත. නඩු විභාගය ආරම්භයේදීම ඔවුන් සිය වරද පිළිගත් අතර, ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ නියම කළ මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගත් ව්‍යාජ භාණ්ඩ විනාශ කිරීමට ද නියෝග කළේය.​පිටකොටුවේ දෙවන හරස් වීදියේ පිහිටි වෙළඳසැල් තුනක නියෝජිතයන් පිරිසක් මෙලෙස දඩුවමට යටත් වූ අතර, අදාළ ඇමරිකානු සමාගම විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණ නියෝග මත සිදුකළ වැටලීමකදී මෙම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම ව්‍යාජ නිෂ්පාදන අඩු වටිනාකම් සහිත ප්‍රකාශන ඉදිරිපත් කරමින් මෙරටට ආනයනය කිරීම හරහා රජයට විශාල බදු ආදායමක් අහිමි වී ඇති බවත්, එම බාල නිෂ්පාදන පාරිභෝගික සෞඛ්‍යයට අහිතකර විය හැකි බවත් බලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ. බුද්ධිමය දේපළ පනතේ 184 සහ 186 වගන්ති ප්‍රකාරව මෙම නඩු පැවරීම සිදුකර තිබූ අතර, මෙවැනිම ව්‍යාජ නිෂ්පාදන නුගේගොඩ සහ දෙහිවල ප්‍රදේශවල වෙළඳසැල්වලින් ද සොයාගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 975

Leave A Reply

Your email address will not be published. Required fields are marked *