ව්‍යාපාරික ගැටලු විසඳීමට ජනපතිගෙන් විශේෂ මැදිහත්වීමක්

දේශීය කර්මාන්තකරුවන් සවිබල ගැන්වීම රජයේ මූලික ප්‍රතිපත්තියක් බවත්, රජයේ සැපයුම් ජාලය තුළ දේශීය ව්‍යාපාරිකයන්ට හිමිවන අවස්ථා ඉදිරියේදී තවදුරටත් පුළුල් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපති කාර්යාලයේදී අද (08) පෙරවරුවේ ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානය (CUBA) සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම් සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.​මෙම හමුවේදී දේශීය ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු රැසක් කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර, විශේෂයෙන්ම සෙස් බද්ද (CESS), මානව සම්පත් හිඟය සහ මෙරටට අනීතික ලෙස ගලා එන භාණ්ඩ වැළැක්වීම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා විය. ගුණාත්මකභාවයෙන් තොර භාණ්ඩ දේශීය වෙළෙඳපොළ ආක්‍රමණය කිරීම පාලනය කිරීමට අදාළ ආයතන ඒකාබද්ධ කරමින් නව වැඩපිළිවෙළක් සකස් කරන බවද මෙහිදී අනාවරණය විය. ව්‍යාපාරික ප්‍රජාව පීඩාවට පත් කරන වරාය බහාලුම් නිදහස් කර ගැනීමේදී සිදුවන අකාර්යක්ෂමතාව මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමටද මෙහිදී එකඟතාව පළ විය.​මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානයේ සභාපතිනි ටානියා එස්. අබේසුන්දර මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව ඉදිරියේදී විධිමත් පියවර ගන්නා බවට රජය සහතික විය.

What's your reaction?

Related Posts

1 of 1,086

Leave A Reply

Your email address will not be published. Required fields are marked *