වැඩිපුර බස් ගාස්තු අය කරනවාද? වහාම 1955 අංකයට දැනුම් දෙන්න!

උත්සව සමයේ මගී ජනතාව පීඩාවට පත් කරමින් නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන බස් රථ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. අධික මගී තදබදය අවස්ථාවක් කර ගනිමින් සිදු කෙරෙන මෙවැනි සූරාකෑම් පිළිබඳ ඕනෑම පැමිණිල්ලක් 1955 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම බලපත්‍ර රහිත බස් රථ ධාවනය කරමින් මගීන්ගෙන් අයුතු ලෙස මුදල් අය කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ කරන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස බලධාරීහු උපදෙස් දෙති.​නීති විරෝධී ලෙස ප්‍රවාහන සේවාවල නිරත වන පුද්ගලයින් හසුකර ගැනීම සඳහා මේ වන විටත් විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත. ඒ අනුව, පසුගිය 11 වනදා කොළඹින් ගමන් ආරම්භ කිරීමට සූදානම් වූ බලපත්‍ර රහිත බස් රථ හතක් (07) අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමට නිලධාරීන් කටයුතු කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, උත්සව සමය තුළ මගී ජනතාව සුරක්ෂිතව සහ සාධාරණ ගාස්තු යටතේ ගමනාන්ත කරා යොමු කිරීම තම අරමුණ බවයි.​මගීන්ට සිදුවන ගාස්තු වංචා හෝ වෙනත් ඕනෑම අපහසුතාවක් සම්බන්ධයෙන් නිහඬව නොසිට වහාම බලධාරීන් දැනුවත් කිරීම මගින් මෙවැනි නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්විය හැකිය. පෞද්ගලික බස් රථවල නියමිත ගාස්තු ප්‍රදර්ශනය කර නොමැති නම් හෝ අසාධාරණ ලෙස මුදල් අය කරන්නේ නම්, එම බස් රථයේ අංකය සහ විස්තර සහිතව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරයි. ජනතාවගේ සහයෝගය ඇතිව උත්සව සමයේ ප්‍රවාහන සේවාව විධිමත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,094

Leave A Reply

Your email address will not be published. Required fields are marked *