ශ්‍රී ලංකාවේ 42 වන විගණකාධිපතිවරයා ලෙස සමුදිකා ජයරත්න මහත්මිය අද (පෙබරවාරි 05) නිල වශයෙන් වැඩ ආරම්භ කළාය. මෙරට ඉතිහාසයේ විගණකාධිපති ධුරයට කාන්තාවක් පත් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස වාර්තා වේ. කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි 03 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඇයගේ පත්වීම ඒකමතිකව අනුමත කරන ලදී.මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරියක ලෙස කටයුතු කළ ඇය මෙම ධුරයට පත්වන්නේ, හිටපු විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා 2025 අප්‍රේල් 8 වනදා විශ්‍රාම ගැනීමෙන් පසු ඇති වූ දිගුකාලීන පුරප්පාඩුව පුරවමිනි. එතැන් සිට 2025 දෙසැම්බර් 5 දක්වා ධර්මපාල ගම්මන්පිල මහතා වැඩබලන විගණකාධිපති ලෙස කටයුතු කළේය. මීට පෙර මෙම ධුරය සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා කිහිපයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර, අවසානයේ සමුදිකා ජයරත්න මහත්මියගේ නාමය ඒකමතිකව සම්මත විය.


























