විද්‍යාව සහ තාක්ෂණය තිරසාර අනාගතයකට

විද්‍යාව හා තාක්ෂණය ශ්‍රී ලංකාවේ තිරසාර අනාගතය හැඩගස්වන වැදගත් බලවේග වන බවත්, එම ක්ෂේත්‍ර සඳහා රජය සැලකිය යුතු සහයෝගයක් ලබා දීමට පියවර ගනිමින් සිටින බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා පැවසීය.​”තිරසාර සංවර්ධනය සඳහා ස්වභාවධර්මයෙන් ආශ්වාදය ලද තාක්ෂණය” තේමාව යටතේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික විද්‍යා පදනම (NSF) විසින් සංවිධානය කරන ලද විද්‍යා ජනප්‍රියකරණය සඳහා වන 2025 සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී පසුගියදා (නොවැම්බර් 10 වන ලෝක විද්‍යා දිනයට සමගාමීව) ඒ මහතා මේ බව සඳහන් කළේය.​විද්‍යාව හා තාක්ෂණය ජාතික ප්‍රමුඛතාවයක් ලෙස රජය සලකන බව මහාචාර්ය අබේසේන මහතා අවධාරණය කළ අතර, වැඩි කළ මූල්‍ය ප්‍රතිපාදන සහ සහයෝගය මගින් විද්‍යා සාක්ෂරතාවය පෝෂණය කිරීමට සහ දැනුම සමාජයේ සෑම අස්සක් මුල්ලක් දක්වාම ළඟා කරවීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය. කුඩා කල සිටම දැනුම, නිර්මාණශීලීත්වය සහ ප්‍රායෝගික කුසලතා පෝෂණය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළ අතර, පාසල් දරුවන් අනාගත නවෝත්පාදනයේ පදනම බව පෙන්වා දුන්නේය. “පාසල් දරුවන් අතර විද්‍යාව ප්‍රවර්ධනය කරන වැඩසටහන් යනු ඔවුන් තුළ කුතුහලය සහ නව සොයාගැනීම් ඇති කිරීමට ගන්නා පළමු පියවරයි,” ඔහු පැවසීය.​මෙම උත්සවයේදී ශ්‍රී ලංකාව පුරා විද්‍යාව ජනප්‍රිය කිරීමට සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට දායක වූ පුද්ගලයින් සහ වැඩසටහන් ඇගයීමට ලක් කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 827

Leave A Reply

Your email address will not be published. Required fields are marked *