විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ප්‍රහේලිකාව: සේවකයෝ 2,200ක් අවිනිශ්චිත තත්ත්වයක!

ලංකා විදුලිබල මණ්ඩලය හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය (VRS) ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් ඒ සඳහා අයදුම් කළ සේවකයන් 2,200කට වැඩි පිරිසක් දැඩි කනස්සල්ලටත් අවිනිශ්චිතතාවයටත් පත්ව සිටිති. මෙම ප්‍රමාදය හේතුවෙන් තම අනාගත සැලසුම් අඩාල වී ඇති බවත්, ඒ හරහා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවත් පවසන සේවකයෝ, අදාළ විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන නිශ්චිත දිනය වහාම ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇත.​ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමෙන් පසු විකල්ප රැකියා සොයා ගැනීම, ව්‍යාපාර ආරම්භ කිරීම හෝ විදේශ රැකියා සඳහා පිටත්ව යාම වැනි සැලසුම් රැසක් සේවකයින් විසින් සකස් කර තිබූ නමුත්, නිල විශ්‍රාම දිනයක් ප්‍රකාශයට පත් නොකිරීම නිසා ඔවුන් අතරමං වී සිටිති. 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත සහ 2025 අගෝස්තු 26 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුකූලව විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ මොවුන් මෙම විශ්‍රාම ගැන්වීම සඳහා අයදුම් කර තිබුණි.​රජයේ සංවර්ධන වැඩපිළිවෙළ සහ මෙම විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළ පිළිබඳව තමන් විශ්වාසය තබන බව පවසන සේවකයින්, ඇතැම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් මෙම ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද වී ඇති බවට චෝදනා කරති. දහස් සංඛ්‍යාත සේවකයින්ගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ ජීවනෝපාය හා සුභසාධනය සලකා බලා, සාධාරණ සහ මානුෂීය පදනමක් යටතේ මෙම ගැටලුව විසඳා ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ දිනය කඩිනමින් ලබාදෙන ලෙස ඔවුහු බලශක්ති අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

What's your reaction?

Related Posts

1 of 907

Leave A Reply

Your email address will not be published. Required fields are marked *