ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය (VRS) සඳහා ඉල්ලුම් කළ සේවකයින් 2,200ක පමණ පිරිසක්, එම ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් තමන් පත්ව ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය විසඳීමට මැදිහත් වන ලෙස මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්ගේ මහා නායක හිමිවරුන් ප්‍රමුඛ සංඝ සභාවෙන් කාරුණික ඉල්ලීමක් කර තිබේ. රජයේ නිල නිවේදන හා සහතික කිරීම් මත පදනම්ව තමන් විශ්‍රාම ගැනීමට තීරණය කළ ද, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන නිල දිනය (Appointed Date) මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් තමන් දැඩි අවිනිශ්චිතතාවයකට හා මානුෂීය ගැටලු රැසකට මුහුණ දී සිටින බව ඔවුහු ලිඛිතව දන්වා සිටිති.මෙම ප්‍රමාදය හේතුවෙන් විදේශ රැකියා සඳහා විශාල මුදලක් වැය කර ලියාපදිංචි වූ පිරිස් එම අවස්ථාවන් අහිමි වීමේ අවදානමකට මුහුණ දී සිටින අතර, පවුලේ සාමාජිකයින් විදේශගතව සිටියදී තමන්ට මෙරට රැඳී සිටීමට සිදුවීමෙන් පවුල් සංස්ථාව බිඳ වැටී ඇති බව ද සේවකයෝ පෙන්වා දෙති. තවත් පිරිසක් විශ්‍රාම යාමෙන් පසු ව්‍යාපාර ආරම්භ කිරීමට ගොඩනැගිලි කුලියට ගෙන උපකරණ සඳහා ණය ලබාගෙන ඇතත්, සේවයෙන් ඉවත් වීමට නොහැකි වීම නිසා එම කටයුතු අතරමඟ නැවතී තිබේ. මේ හේතුවෙන් ඇති වූ මානසික පීඩනය නිසා ඇතැම් සේවකයින් රෝගාතුර වී ඇති බව ද එම ලිපියේ සඳහන් වේ.පවතින ගැටලුවට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස රජයට උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටින සේවකයෝ ප්‍රධාන යෝජනා දෙකක් ඉදිරිපත් කරති. එනම්, ගැසට් නිවේදනයක් මගින් වහාම ප්‍රතිව්‍යුහගත කිරීමේ දිනය ප්‍රකාශයට පත් කිරීම හෝ එම දිනය තීරණය කරන තෙක් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීම සඳහා අනුමත වූ සේවකයින්ට වැටුප් රහිත නිවාඩු ලබා දෙමින් අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කිරීමයි. විදුලිබල මණ්ඩලයේ සියලුම VRS අයදුම්කරුවන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය මහ නාහිමිවරුන් වෙත පිළිගන්වා ඇත.


























