ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර තම ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුම් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය (VRS) සඳහා අයදුම් කර ඇති සේවකයින්ගෙන් සැදුම්ලත් වෘත්තීය සමිති 24ක් රජයට අනතුරු අඟවා ඇත. සේවක අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් මීට මාසයකට පමණ පෙර ඉල්ලීම් අටක් ඉදිරිපත් කළද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නොමැති බව විෂයභාර අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සමිති පෙන්වා දෙයි. මෙම සන්ධානයට විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය, තාක්ෂණික ඉංජිනේරුවන්ගේ සහ නිලධාරීන්ගේ සංගමය ඇතුළු ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිති රැසක් ඇතුළත් වේ.සමූහ ගිවිසුම යටතේ පවතින සියලුම සේවක ප්‍රතිලාභ තහවුරු කිරීම, මූල්‍ය හා මූල්‍ය නොවන දීමනා කප්පාදු නොකිරීම, සේවක සහභාගීත්වයෙන් යුතුව ලේඛන සකස් කිරීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීමට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හැර වෙනත් විකල්පයක් තමන්ට නොමැති බව සේවකයෝ අවධාරණය කරති. මීට පෙර ජනවාරි 12 වැනිදා යොමු කළ ලිපියට ද පිළිතුරක් නොලැබීම හේතුවෙන්, ප්‍රතිව්‍යුහගත කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළහොත් සිය සටන තවදුරටත් දැඩි කරන බව එම වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කරයි.


























