​විදුලි බල මණ්ඩලය විසුරුවා හැරියොත් සාමාන්‍ය පෙළින් පසු දැවැන්ත වර්ජනයක්: රජයට අවසන් අනතුරු ඇඟවීම

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සිය ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් රජයට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. විදුලිබල මණ්ඩලය ඈවර කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කළහොත් සහ සිය ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදුන්නොත්, දැනට පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ඔවුහු පවසති. තම ඉල්ලීම්වලට කන් නොදී නීති විරෝධී ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කිරීමට රජය උත්සාහ කරන්නේ නම්, අකමැත්තෙන් වුවද ඉදිරි පැය 48 තුළ තීරණාත්මක තීන්දුවක් ගැනීමට සිදුවන බව වෘත්තීය සමිති නායකයෝ අවධාරණය කරති.​සේවක ගැටලු සහ බලශක්ති අර්බුදයන් නොසලකා හරිමින්, නිසි බලශක්ති ප්‍රතිපත්තියක් නොමැතිව රජය ඒකපාර්ශ්විකව කටයුතු කරන්නේ නම් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ඔවුහු පවසති. මෙමගින් රටට සහ ජනතාවට සිදුවන පීඩාව පිළිබඳව රජය සම්පූර්ණ වගකීම දැරිය යුතු බව ද ඔවුහු පෙන්වා දෙති. දැනට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් කෙරෙහි අනුකම්පා කර තමන් මෙතෙක් ඉවසීමෙන් කටයුතු කළ බවත්, එම බාධාව ඉවත් වූ වහාම සිය අරගලය ක්‍රියාත්මක කරන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.​විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, තාක්ෂණික ඉංජිනේරු සහ නිලධාරීන්ගේ සංගමය ඇතුළු ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ. පෙබරවාරි 28 වැනිදා විදුලිබල මණ්ඩලය විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන බවට සභාපතිවරයා තහවුරු කර ඇති බවට වාර්තා පළවන පසුබිමක මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත. ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය (VRS) සඳහා අයදුම් කරන සේවකයින්ට වන්දි ගෙවීමේදී කිසිදු ගැටලුවක් ඇති නොවන බවට රජය සහතික වී ඇතත්, වෘත්තීය සමිති පවසන්නේ සමස්ත ක්‍රියාවලියම අර්බුදකාරී බවයි.

What's your reaction?

Related Posts

1 of 1,025

Leave A Reply

Your email address will not be published. Required fields are marked *