විදුලි බල මණ්ඩල සේවක අයිතීන් සුරකිමින් නව ප්‍රතිසංස්කරණ සඳහා සහාය වන්න – ජනාධිපතිතුමාගෙන් ඇරයුමක්

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපතිතුමා අතර විශේෂ හමුවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දැනට භුක්ති විඳින කිසිදු සේවක අයිතිවාසිකමකට හානියක් නොවන බවයි. යෝජිත නව සමාගම් ව්‍යුහය තුළද එම වරප්‍රසාද එලෙසම තහවුරු කරන බවට සහතික වූ ජනාධිපතිතුමා, මෙම සංක්‍රාන්ති සමයේදී රජයේ අපේක්ෂිත අරමුණු ජය ගැනීමට මනා අවබෝධයකින් යුතුව සහාය වන ලෙස වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.​ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හේතුවෙන් සේවකයන් තුළ මතු වී ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එම ගැටලු විධිමත්ව විසඳීම සඳහා ස්ථාවර යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා, ඒ වෙනුවෙන් ස්වාධීන අභියාචනා මණ්ඩලයක් පත් කිරීමේ හැකියාව සොයා බලන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. සේවක ගැටලු සඳහා සාධාරණ විසඳුම් ලබා දෙමින් ආයතනික වෙනස්කම් සිදු කිරීම රජයේ ප්‍රමුඛතාව බව ද මෙහිදී ප්‍රකාශ විය.​රටේ අනාගත ආර්ථික උපායමාර්ගයන්හි තීරණාත්මක සාධකය බලශක්තිය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, ශක්තිමත් ආයතනික ව්‍යුහයක් හරහා බලශක්ති ක්ෂේත්‍රය නවීකරණය කළ යුතු බව සඳහන් කළේය. බලශක්ති ස්වාධිපත්‍යය රජය සතුව තබා ගනිමින්, පෞද්ගලික අංශයේ දායකත්වය මත තරගකාරීත්වයක් ඇති කිරීම තුළින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මූල්‍ය විනය සහ සේවක ඵලදායීතාව ඉහළ නැංවීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.​අවසාන වශයෙන්, පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව වැනි ආපදා තත්ත්වයන් හමුවේ මහජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීම වෙනුවෙන් විදුලිබල මණ්ඩල සේවකයන් දැක්වූ සුවිශේෂී කැපවීම ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය. එවැනි කැපවීමකින් යුතුව ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන ලෙස සමස්ත සේවක මණ්ඩලයෙන් ඒ මහතා ඉල්ලීමක් කළේය. මෙම සාකච්ඡාව සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,048

Leave A Reply

Your email address will not be published. Required fields are marked *