අප්‍රේල් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු සංශෝධනය හමුවේ ආපනශාලා කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි. විදුලි බිල ඉහළ යාමට අමතරව උත්සව සමය ආරම්භයත් සමඟ සහල්, බී ලූනු සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල පාලනයකින් තොරව ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ඒ මහතා, මෙම තත්ත්වය හමුවේ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ආහාර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කළ බව සඳහන් කළේය. රජය සහ වගකිවයුතු අමාත්‍යවරුන් වෙළඳපොළ මිල පාලනය කිරීමට අපොහොසත් වීම මෙම තත්ත්වයට සෘජුවම බලපා ඇති බවට ඔහු චෝදනා කරයි.ඒ අනුව, නව මිල සංශෝධනය යටතේ රයිස් සහ කොත්තු මිල රුපියල් 30 කින් ද, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල රුපියල් 10 කින් ද ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. එමෙන්ම තේ සහ ප්ලේන්ටි මිල රුපියල් 5 කින් ඉහළ යන අතර, කීරි සම්බා ඇතුළු සහල් වර්ගවල පවතින අධික මිල ගණන් පිළිබඳව සොයා බැලීමට බලධාරීන් වැටලීම් සිදු නොකිරීම පිළිබඳව ද සංගමය සිය කනගාටුව පළ කරයි. උත්සව සමයේදී පාරිභෝගිකයා තවදුරටත් අපහසුතාවයට පත්වීම වැළැක්වීමට නම් භාණ්ඩ මිල ස්ථාවර කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව ආපනශාලා හිමියන් අවධාරණය කර සිටී.






















