විදේශීය අධිකරණයකින් ලබා දෙන දික්කසාද නඩු තීන්දුවක් ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට නම්, එය මෙරට පවතින විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවලට දැඩි ලෙස අනුකූල විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. ඒ අනුව, විවාහයෙන් පසු සිදු වූ අනාචාරය, ද්වේෂසහගත අත්හැරයාම හෝ විවාහය සිදු වන අවස්ථාවේ පැවති සුව කළ නොහැකි බෙලහීනතාවය යන කරුණු තුන මත පදනම්ව ලබා දුන් විදේශීය දික්කසාද තීන්දු පමණක් මෙරට නීතිය හමුවේ වලංගු වන බව අධිකරණය අවධාරණය කරයි. විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 19(2) වගන්තියට අනුව දික්කසාදයක් සඳහා අවසර දිය හැකි පදනම් සීමිත බැවින්, විදේශීය නඩු තීන්දුවක් වුවද එම නීතිමය රාමුව තුළ තිබිය යුතු බව මෙහිදී පැහැදිලි කෙරිණි.මෙම නඩුව 2008 වසරේ කොළඹදී විවාහ වී පසුව එක්සත් රාජධානියේ පදිංචියට ගිය යුවළක් සම්බන්ධයෙන් වූවකි. බිරිඳ විසින් කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ දික්කසාද නඩුවක් පවරා තිබියදී, සැමියා තර්ක කළේ බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ප්‍රාදේශීය අධිකරණය මගින් ඒ වන විටත් දික්කසාද තීන්දුවක් ලබා දී ඇති බැවින් ලංකාවේ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙසයි. මුලින් දිස්ත්‍රික් අධිකරණය එම තර්කය පිළිගත්තද, පසුව සිවිල් අභියාචනා මහාධිකරණය එය වෙනස් කළේ අදාළ විදේශීය අධිකරණයට ඒ සඳහා බලයක් නොමැති බව පවසමිනි. අනතුරුව මෙම ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් විය.විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුව දීර්ඝ ලෙස විශ්ලේෂණය කරමින් ප්‍රකාශ කළේ, විදේශීය නඩු තීන්දු පිළිගැනීමේදී පුද්ගලයාගේ ස්ථිර පදිංචිය (Domicile) සහ දේශීය නීතිමය අවශ්‍යතා සම්පූර්ණ වීම අත්‍යවශ්‍ය බවයි. 2024 අංක 49 දරන විදේශීය නඩු තීන්දු පිළිගැනීමේ නව පනත පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පහළ අධිකරණ දෙකම මූලික නීතිමය කරුණු තීරණය කිරීමේදී වැරදි සිදු කර ඇති බවයි. ඒ අනුව, එම තීන්දු ඉවත දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය, පනවා ඇති නීතිමය මූලධර්මවලට යටත්ව මෙම නඩුව කඩිනමින් විභාග කර අවසන් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් අධිකරණයට නියෝග කළේය.
























